Image

ජවිපෙ, නව ඉතිහාසයක් ගොඩනගන්නට උත්සාහ කරන්නේ ඇයි...?

ජවිපෙ, නව ඉතිහාසයක් ගොඩනගන්නට උත්සාහ කරන්නේ ඇයි...?

විශිෂ්ට දේශපාලන බුද්දිමතෙකු වන ජයදේව උයන්ගොඩ සහභාගී වුණු you tube දේශපාලන සාකච්ඡාවක් නැරඹීමට හැකි වුණා. එහි දී යම් අලුත් ඉතිහාසයක් ගොඩනගන්න ජාතික ජන බලවේගයට පක්ෂ පාති බුද්දීමතුන් යම් කිසි විදිහකට උත්සාහයක් ගනිමින් ඉන්නා බව වර්තමාන සිදුවීම් දෙස සිහි බුද්ධියෙන් බලන විට පේනවා.

එතකොට ඒ හැම අවස්ථාවක දී ම ඒගොල්ලන් මුවා වෙලා ඉන්නේ එක්කෝ සාහිත්‍ය කලා ආදියෙන්; එහෙම නැත්නම් විකල්ප දේශපාලය හෝ දර්ශනයෙන්. මෙන්න මේ මුවා වෙලා ඉන්න පිරිස් තේරුම් ගැනීම ඉතාමත් වැදගත් අදට සාපේක්ෂව බලන විට.

වර්තමාන මොහොතට අදාළව ඉතිහාසය විකෘති කිරීම

ලංකාවේ ලිබරල් බුද්ධිමතුන් තමන් ප්‍රගතිශීලී යැයි කියාගන්නා නමුදු, ඉතිහාසයේ බරපතළ ම දේශපාලන පාවාදීම් සහ ජාතිවාදී ප්‍රවණතා හමුවේ පෙන්වන දෘෂ්ටිවාදී නිරුවත මහාචාර්ය ජයදේව උයන්ගොඩ ගේ මෑතකාලීන සාකච්ඡා සහ ප්‍රකාශ තුළින් නැවතත් සනාථ වී තිබේ. ඔවුන් විසින් ඔවුන්ට අවශ්‍ය පරිදි වර්තමාන මොහොතට අදාළව ඉතිහාසය දැඩි ලෙස විකුර්ති කරයි. උයන්ගොඩ මහතා මතු පළවන සංවාදයේ දී පවසන්නේ ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) 70 දශකයේ පැවති ‘ඉන්දීය ව්‍යාප්තවාදී’ ප්‍රවාදය ජාතිවාදී එකක් නොවන බවයි. එමෙන්ම එමඟින් ‘ප්‍රධාන ධාරාවේ’ දෙමළ ජනතාව ඉලක්ක නොකළ බව ද ඔහු පවසයි.

sureදේශපාලන විද්‍යාඥයෙකු යැයි කියාගන්නා අයකුගෙන් මෙවැනි වටවංගු ගැසීම් සහ ඉතිහාසය විකෘති කිරීම් දැකීම කණගාටුදායකය. උයන්ගොඩ පවසන පරිදි එය ප්‍රධාන ධාරාවේ දෙමළ ජනතාවට එරෙහිව ආ එකක් නොවේ නම්, එමගින් ඉලක්ක කළේ කවුරුන්ද යන්න අපි පැහැදිලිව දනිමු. ජවිපෙ එදා ඉලක්ක කළේ මෙරට ආර්ථිකයේ කොදු නාරටිය වූ, වඩාත් ම පීඩිත මෙන් ම වඩාත්ම සංවිධානාත්මක කම්කරු පන්තිය නියෝජනය කළ මලයහ (කඳුකර) දෙමළ ජනතාව යි.

පීඩිත ජනතාව ගේ පන්ති වෛරය බාහිර හතුරන් වෙත හැරවූ ජවිපෙ

ජවිපෙ මුල් කාලීන දේශපාලන භාවිතය දෙස බලන විට පැහැදිලි වන්නේ, ඔවුන් කම්කරු පන්තිය සහ ගොවි ජනතාව අතර ඇති පන්ති පරතරය හිතාමතාම නොසලකා හරිමින්, කම්කරු පන්තියේ ස්වාධීනත්වය සිංහල සුළු ධනේශ්වර දෘෂ්ටියට යටත් කළ බවයි. එය එතැනින් නතර වූයේ නැත. කම්කරු පන්තිය සහ ජාතික ධනපති පන්තිය අතර පවතින කිසිදා නොපෑහෙන පන්ති පරතරය වසා දැමීම සඳහා ජවිපෙ ‘දේශප්‍රේමිත්වය’ නමැති සිමෙන්තිය බදාමයක් කරගත්තේ ය. ඔවුන්, කම්කරුවන් ගේ සැබෑ ආර්ථික අරගල සහ වැඩවර්ජන හෑල්ලු කළේ ඒවා "කැඳ කෝප්ප අරගල" ලෙස හංවඩු ගසමිනි. දේශීය ධනපතියාට එරෙහිව සැබෑ පන්ති සටන දියත් කරනු වෙනුවට, ඔවුන් කම්කරුවන්ට බල කළේ "මව්බිමේ නාමයෙන්" පෙරමුණට එන ලෙසයි. දේශීය පාලක පන්තිය ආරක්ෂා කරනු වස්, පීඩිත ජනතාව ගේ පන්ති වෛරය බාහිර හතුරන් (බ්‍රිතාන්‍ය, ඇමරිකානු සහ ඉන්දීය ආක්‍රමණ) වෙත හැරවීමට ජවිපෙ ක්‍රියා කළේය.

කීර්ති බාලසූරිය ගේ අනාවරණය

ජවිපෙ වතු කම්කරුවන්ට එරෙහිව ගෙන ගිය මෙම විරෝධය, අද දවසේ නිකම්ම සාමාන්‍ය "සිංහල ජාතිවාදයක්" ලෙස හැඳින්වීම පවා දෘෂ්ටිවාදීමය වශයෙන් වැරදි ය. ඒ පිළිබඳව 1970 තරම් ඈත අතීතයක දී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ ප්‍රධාන ලේකම් කීර්ති බාලසූරිය විසින් කරන ලද විද්‍යාත්මක විග්‍රහය අදටත් අතිශයින්ම වලංගුය. බාලසූරිය එදා පෙන්වා දුන්නේ මෙසේය. අපි ඔහුගේ අදහස් වෙත යමු.

"බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් හා ලාංකික ධනේශ්වරය තම පන්ති වුවමනාකම් මත සිට වතු කම්කරුවන් වැනසීමට යත්න දරන කාලයක, ඉස්මතු වන සුළු ධනේශ්වර වතු කම්කරු විරෝධය ඒකාධිකාරී ධනවාදයේ නග්න උපකරණයක් බවට කෙළින්ම පරිවර්තනය වේ. මේ ජාතිවාදය ෆැසිස්ට්වාදයට තුඩු දෙන එකක් වන අතර, ජනතා විමුක්ති පෙරමුණ ලංකාව තුළ බිහි කරන්නේ අනාගත ෆැසිස්ට් ව්‍යාපාරයකට හොඳින් උපයෝගී කර ගත හැකි කම්කරු විරෝධී බලවේගයකි."

කීර්ති බාලසූරිය එදා අනාවරණය කළ පරිදි, ජවිපෙ ‘ඉන්දීය ව්‍යාප්තවාදී’ ප්‍රවාදය හරහා සිදු කළේ හොර බඩු ජාවාරම, ‘කල්ලතෝනි’ ආක්‍රමණ සහ සංස්කෘතික ආක්‍රමණ ගැන කියමින් සිංහල මිනිසුන් තුළ වර්ගවාදී හැඟීම් ඇවිළවීමයි. එහි සැබෑ දේශපාලන අරමුණ වූයේ ලාංකික ධනේශ්වර පන්තියේ "දේශප්‍රේමී" දෘෂ්ටිය යටතට පීඩිත ජනතාව තල්ලු කර දැමීම සහ වතුකරයේ සංවිධානාත්මක වාමාංශික කම්කරු බලවේගය දෘෂ්ටිවාදාත්මකව විනාශ කිරීමයි. එබැවින්, ජවිපෙ ඉතිහාසය "සංකීර්ණයි" කියා හෝ සිංහල ජාතිකවාදය "හානිකර නැති" එකක් කියා උයන්ගොඩලාට දැන් නිදොස් විය නොහැකි ය. සියලු මහා පරිමාණ සමාජ ව්‍යාපාර සංකීර්ණ බව සැබෑ ය, නමුත් අපගේ අවබෝධය තියුණු සහ නිර්භීත විය යුතු ය.

ලංකාව දරුණු ෆැසිස්ට්වාදී ප්‍රවණතා කරා තල්ලු කිරීම

උයන්ගොඩ වැන්නන් අද ජාතික ජන බලවේගයේ වත්මන් ලිබරල් සහ නව ලිබරල් ප්‍රතිපත්ති ප්‍රකාශන උත්කර්ෂයට නංවමින්, ඔවුන් උතුරේ දෙමළ සමාජය ප්‍රජාතන්ත්‍රවාදී කරන බවට කරන ප්‍රකාශ අතිශයින්ම අපභ්‍රංස සහ තාර්කික බවින් තොර ඒවා ය. දෙමළ සහ මුස්ලිම් දේශපාලන සමාජ ගැන උඩින් ඉඳන් දේශනා පැවැත්වීමට උයන්ගොඩලාට ඇති අයිතිය කුමක්ද? තමන් කිසියම් පක්ෂයකට සහය දෙන පළියට තමන් එහි විශේෂඥයන් වෙන්නේ නැත. ජවිපෙ 70 දශකයේ සිටම දේශප්‍රේමිත්වයේ බදාම ගල්වා ගොඩනැගූ මෙම "අපන්තික" ජාතිකවාදී පෙරමුණේ අවසාන ප්‍රතිඵලය වූයේ සාම ක්‍රියාවලි සියල්ලට එරෙහිව ප්‍රචණ්ඩ ලෙස නැගී සිටීම සහ ලංකාව දරුණු ෆැසිස්ට්වාදී ප්‍රවණතා කරා තල්ලු කිරීමයි. ඉතිහාසයේ මෙම ලේවැකි සහ න්‍යායික පාවාදීම් වටවංගු ගසමින් වසා දැමීමට උත්සාහ නොකර, ඒවායේ නියම ස්වරූපයෙන්ම තේරුම් ගැනීම සැබෑ වාමාංශික සහ ප්‍රගතිශීලී සමාජයක වගකීමකි.

මතු පළ වන්නේ උයන්ගොඩ සහභාගි වූ සාකච්ඡාව ය.

mandis murrukkuwadura.jpg

 

 

 

 

Mandis Murrukkuwadura

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න