Language Switcher

V2025

රජයට හිමිවිය යුතුම මුදලක් ගැන කෝපා අනාවරණයක් !

RAMIS සහ Legacy පරිගණක පද්ධතිවලට අදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට 2022 දෙසැම්බර් 31 දින වනවිට ලැබිය යුතු මුලු හිඟ බදු, දඩ හා පොලී මුදල රුපියල් 904,342,180,778 ක් (බිලියන 904) බව කෝපා කමිටුවේදී අනාවරණය වී තිබේ.

මෙම මුදලෙන් රුපියල් 163,425,093,401ක් (බිලියන 163) අය කළ හැකි ආදායම් වශයෙන් හඳුනාගෙන ඇත.

රුපියල් 740,917,087,377ක් (බිලියන 740) යම් යම් හේතු මත අය කිරීම් තාවකාලිකව අත්හිටුවා ඇති මුදල් වශයෙන් හඳුනාගෙන ඇති බවත් මෙහිදී අනාවරණය විය.

එසේම RAMIS සහ Legacy යන පද්ධති දෙක යටතේම අයවිය යුතු මුලු හිඟ බදු මුදල් වශයෙන් මෙම මුදල හඳුනාගෙන ඇති බවද මෙහිදී විගණකාධිපතිවරයා විසින් පෙන්වාදෙන ලද අතර මෙම හිඟ බදු මුදලින් අය කළ හැකි ආදායම් මුදල අය කර නොගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

මෙහිදී මෙම කාරක සභාවේ සභාපති, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා නිර්දේශ කළේ, අය කළ හැකි ආදායම් වශයෙන් හඳුනාගෙන ඇති හිඟ බදු මුදල් කොටස් වශයෙන් හෝ අය කරගන්නා ආකාරය පිළිබඳ දින වකවානු සහිතව තොරතුරු ඇතුළත් වාර්තාවක් කෝපා කමිටුවට ලබා දෙන ලෙසය.

එසේම රුපියල් බිලියන 904ක මුලු හිඟ බදු මුදල පිළිබඳව වෙන්වෙන් වශයෙන් විස්තර සහිතව වාර්තාවක් ලබාදෙන ලෙසද සභාපතිවරයා නිර්දේශ කළේය.

එම වාර්තාවේ බදු මඟහැරී ඇති ආකාරය සහ ඒවාට හේතු විස්තරාත්මකව දක්වා තිබිය යුතු බවද සඳහන් ය.

මේ පිළිබඳ අනාවරණය වූයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වර්තමාන කාර්යසාධනය සහ මෙම දෙපාර්තමේන්තුව 2022 නොවැම්බර් 28 දින කෝපා කමිටුවට කැඳවා ලබාදුන් නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ඉකුත් දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.

එසේම RAMIS පරිගණක පද්ධතිය නිසි ක්‍රියාකාරී මට්ටමක නොපැවතීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ අතර මෙම පද්ධතිය සකස් කළ පසු ක්‍රියාත්මක කිරීමට පුහුණු නිලධාරීන් නොමැතිවීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

එසේම 2022.11.28 දින පැවති කෝපා කමිටු සාකච්ඡාවට අනුව 2022 ජුනි 30 වන විට රුපියල් 2,488,003,615 (බිලියන 2.4) වටිනා අගරුවූ චෙක් පත් පැවතීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

විශේෂයෙන්ම බදු මුදල් ගෙවීමේදී 90% පමණ ලංකා බැංකුව මාර්ගයෙන් බදු මුදල් ගෙවීම සිදුකරන බවත් මෙසේ ගෙවන බදු මුදල් ගෙවූ දින අනුමත වූ බව පෙන්වුවත් පසු දින අගරු චෙක්පත් ලෙස පෙන්වන බවත් මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වාදී තිබේ.

මේ අනුව කාරක සභාවේ සභාපතිවරයා විසින් ලංකා බැංකුවේ සභාපතිවරයා කමිටුව අතරතුරුදීම දුරකථන මාර්ගයෙන් සම්බන්ධකර ගනිමින් සාකච්ඡා කොට අදාළ උපදෙස් ලබාදීම ද මෙහිදී සිදු විය.

තවද කැසිනෝ ව්‍යාපාරය සඳහා දල එකතුව මත බදු අය කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.