සිවලිංගම් ආරූරන් නිදොස්කොට නිදහස් !

සිවලිංගම් ආරූරන් නිදොස්කොට නිදහස් !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටි සමයේ 2006 වසරේදී පිත්තල හන්දිය ප්‍රදේශයේදී එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සිවලිංගම් ආරූරන් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු 2009 දී රැඳවුම් භාරයට ගෙන නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටියේය.

ඊට අදාළ නඩුව ඊයේ (15) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අධිකරණය මෙලෙස ඔහුව නිදොස්කොට නිදහස් කර ඇත.

ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන ලදැයි චෝදනා 13ක් යටතේ නීතිපතිවරයා 2013 වසරේදී මෙම නඩුව පවරා තිබූ අතර විත්තිකරුට එරෙහිව අධිචෝදනා හයක් ඉදිරිපත්ව තිබිණි.

විත්තිකරු හිටපු නියෝජ්‍ය පොලිස්පති සිසිල් ද සිල්වා ඉදිරියේ කරන ලද ප්‍රකාශයක් නඩුවේ සාක්ෂියක් ලෙස පිළිගන්නා ලෙසට නීතිපතිවරයා කරන ලද ඉල්ලීමක් පසුගිය නඩුවාරයේදී මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ප්‍රතික්ෂේප කළේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරු විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සහකාර පොලිස් අධිකාරී වරයාට ලබාදුන් පාපොච්චාරණය ස්වෙච්ඡාවෙන් සිදුකරන ලද්දක් නොවන බවට අධිකරණය විසින් තීන්දු කළ බවය.

ඒ අනුව ඊයේ දිනයේ නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වූ අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ විත්තිකරුට එරෙහිව වෙනත් සාක්ෂි නොමැති බවය.

තවදුරටත් විත්තිකරුට එරෙහි නඩුව පවරා පවත්වාගෙන යෑමට නීතිපතිවරයා අදහස් නොකරන බවද අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කරුණු සලකා බැලූ වූ මහාධිකරණ විනිසුරුවරයා පුද්ගලයින්ගේ තරාතිරම නොබලා තමන්ගේ අධිකරණ තීන්දු ලබා දෙන බවත් සාක්ෂි නොමැති හෙයින් විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බවත් සඳහන් කළේය.

43 හැවිරිදි වියේ පසුවන ආරූරන් 2004 වසරේදී මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලබා ගෙන ඇති අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටියදී අත්අඩංගුවට පත්විය.

බන්ධනාගාරගත වීමෙන් පසුව සිය රචනා හැකියාව දියුණු කරගත් ආරූරන් දෙමළ භාෂා කෘති 07 ක් සහ ඉංග්‍රීසි භාෂා කෘතියක් රචනා කර ඇත.

මේ අතර 2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේ හොඳම ස්වතන්ත්‍ර (දෙමළ) නවකතාව ලෙස නව සිවලිංගම් අරූරන් විසින් රචිත 'ආදුරසාලයි' සම්මානයෙන් පිදුම් ලැබීය.

2016 දී ද හොඳම දෙමළ නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය ඔහු හිමිකර ගත්තේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න