ඉන්දීය ආධාර යටතේ මලෛගම් ජනතාව වෙනුවෙන් ආරම්භ කර ඇති නිවාස 4700ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියෙහි ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති ගේ ප්‍රධානත්වයෙන් අද (24) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
හඳුනාගත් පවුල් වෙත නිවාස 2026ක්
මෙම නිවාස වැඩපිළිවෙළ යටතේ ආපදා අවදානම් ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් හඳුනාගත් පවුල් වෙත නිවාස 2026ක් ලබා දීමට නියමිත අතර, සෙසු නිවාස හඳුනාගත් වතුකරයේ වැඩකරන ජනතාව වෙනුවෙන් ලබා දීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව ප්‍රාදේශීය වැවිලි සමාගම් 22ක සහ රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනවසම සහ ඇල්කඩුව යන වැවිලි සමාගම්වලට අයත් වතුවල පදිංචිව සිටින මලෛගම් ජනතාව වෙනුවෙන් නිවාස ලබා දීමට නියමිතය. මෙම එක් නිවසක් ඉදිකිරීම වෙනුවෙන් ඉන්දීය රජය රුපියල් ලක්ෂ 28ක් සහ ශ්‍රී ලංකා රජය රුපියල් ලක්ෂ 4ක් වෙන් කර ඇත.
නිවාස ඉදිකිරීමට යෝජිත ඉඩම් කඩිනමින් නිදහස් කරන්න
නිවාස ව්‍යාපෘතියෙහි කටයුතු මේ වසර අවසන් විමට පෙර නිම කරන ලෙස මෙහි දී නිලධාරීන්ට උපදෙස් දුන් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, නිවාස ඉදිකිරීමට යෝජිත ඉඩම් කඩිනමින් නිදහස් කරන ලෙසත්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් සුදුසු ඉඩම් හඳුනා ගැනීමට අවශ්‍ය වාර්තාවන් ලබා දෙන ලෙසත් වැඩිදුරටත් උපදෙස් දුන්නේ ය. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, නිවාස සංවර්ධන අධිකාරිය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ වැවිලි මානව සංවර්ධන භාරය ඒකාබද්ධව මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) කේ. එස්. විජයකිර්ති, අධ්‍යක්ෂ ජනරාල් (ඉංජිනේරු) එන්. ඩී. එන්. පුෂ්පකුමාර, අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) ඩබ්ලිව්. ඒ. කේ. එස්. දමයන්ති, වැවිලිකරුවන්ගේ සංගමයේ මහලේකම් ඇතුළු නිවාස සංවර්ධන අධිකාරිය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ අදාළ ආයතනවල නිලධාරීහු, වැවිලි සමාගම්වල නිලධාරිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය




newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
