තට්ට හිසක් තිබුණත් විග් එකක් දාගෙන තරුණයකු සේ හැසිරී කාන්තාවන් රැවැට්ටීමට හැකි බව කියා දුන්නේ ඔහු ය. විවාහ පොරොන්දු දී කාන්තාවන් ගෙන් රුපියල් කෝටි ගණන් වුව වංචා කළ හැකි බව කියා දුන්නේ ඔහු ය. එලෙස වංචා සහගතව ලබා ගන්නා මුදලින් බිරිය (අනියම්) සහ දරුවන්ට සුඛෝපභෝගී ජීවිතයක් උරුම කර දිය හැකි කියා දුන්නේ ද ඔහු ය. ඔහු වෙන කිසිවකු නොව තෙල්දෙණිය රෝහල් භූමියේ මෝටර් රථයක තිබී හමු වූ මළ සිරුරේ හිමි කාරිය වූ භෞතචිකිත්සක රත්නායක පතිරණගේ ශ්‍යාමා දර්ශනී ගේ පෙම්වතා වූ මෘදුකාංග ඉංජිනේරුවරයෙකැයි කියාගෙන සිටි ජයසුන්දර මුදියන්සේලාගේ චම්පික ශ්‍රියාන් ජයසුන්දර නම් වූ 43 හැවිරිදි සිව් දරු පියා ය.
ආරම්භය ම අවුලකි
කවුරුත් දන්නා තරමට ඔහු තිදරු පියෙකි. නමුත් පොලිස් විමර්ශනවල දී හෙළි වූ තොරතුරුවලට අනුව ඔහුට දරුවන් හතර දෙනෙකි. මොහු විවාහ වන්නේ මීට සෑහෙන කලකට පෙර ය. ඒ විවාහයෙන් දරුවකු ලැබෙන අතර ඉන් ටික දිනකට පසු ඒ විවාහය දෙදෙරා ගියේ මොහු ගේ නොපනත් ක්‍රියාකරකම් නිසා ය. ඒ බිරිය විදෙස් ගත වන්නේ මොහු ගෙන් දික්කසාද නොවී ය. එබැවින් මොහුට විවාහයක් ලියා පදිංචි කර ගැනීමේ හැකියාවක් තිබුණේ නැත. කෙසේ වෙතත් ඒ දරුවා සිටින්නේ කොහි ද කා සමඟ ද යන්න මෙතෙක් තහවුරු වී නැත. ඔහු සමග පවුල්කන කාන්තාව මුස්ලිම් සම්භවයක් ඇති සිංහල නමකින් පෙනී සිටින අයෙකි. ඇය ගේ මව සිංහල වන අතර පියා මුස්ලිම් ජාතිකයෙකි. මව වෙනත් අයකු සමග පැන යන්නේ ඇය කුඩා අවධියේ ය. පිය සෙවණේ මුස්ලිම් දැරියක ලෙස උස් මහත් වන ඇය වයස අවුරුදු 22 ලබද්දී සිංහල කාන්තාවක් බවට පත් වන්නේ මවගේ වාසගම සහ සිංහල නමක් ඈඳා ගනිමිනි.
විශ්වාසය දිනන මග

මේ පුද්ගලයා රැකියාවක් කර ඇත්තේ මීට බොහෝ කලකට පෙරය. ඒ නාරම්මල කොමියුනිකේෂන් එකක ය. මොහු මෘදුකාංග ඉංජිනේරුවකු බව කියන්නේ එම සේවා ස්ථානයේ ෆොටෝ කොපි ගැසිම, ප්‍රින්ට් අවුට් රැගෙන දීම වැනි දෑ සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවකු ගේ කාර්යයන් යැයි සිතාගෙන ය. ඒ බව පෙන්වීම සඳහා මොහු, ව්‍යාජ දත්ත ඇතුළත් කර කාර්යාලීය හැඳිනුම් පතක් ද සාදාගෙන තිබිණි. මේ පුද්ගලයා බොහෝ විට කාන්තාවන් රවට්ටන්නේ විවාහ පොරොන්දු දීමෙනි. මුදල් ගරන්නට පටන් ගන්නේ විශ්වාසය ගොඩනගා ගැනීමෙන් අනතුරුව ය. රුපියල් ලක්ෂයක් ඉල්ලාගෙන දින දෙක තුනකින් එය ගෙවා දැමූ විට ඒ කාන්තාව ගේ සිතේ මොහු ගැන විශ්වාසයක් ඇති වේ. ඉන් පසු ඊට වැඩි මුදලක් ඉල්ලා ගනී. එයත් ගෙවා දමයි. මේ ගෙවීම් කරන්නේ තවත් කාන්තාවක් රවටා ගන්නා මුදල්වලිනි. ලොකු ගාණක් ඉල්ලන්නේ අවසානයේ ය. එයත් විශ්වාසය මත දෙන නමුත් ඉන් පසු මේ පුද්ගලයා සොයා ගන්නට වත් ලැබෙන්‌නේ නැත.
වාර්තා වී තිබෙන දත්ත
මොහු කළ මුදල් වංචා පිළිබඳ මෙතෙක් කළ විමර්ශනවල දී මොහුට විරුද්ධව පවතින නඩු සම්බන්ධයෙන් හෙළිවූ දත්ත මෙසේ ය.
v විවාහ වන බව පවසා රුපියල් එක් කෝටි දහඅට ලක්ෂ හැත්තෑ තුන් දහසක් වංචා කිරීම, විවාහ වන බව පවසා රුපියල් දහතුන් ලක්ෂ හැත්තෑ හය දහසක් වංචා කිරීම, යන චෝදනා සම්බන්ධයෙන් අලුත් කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවතී.
v විදෙස් රටවලින් වාහන ගෙන්වන බව පවසා රුපියල් විසි දෙලක්ෂයක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තිස්සමහාරාම අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
v අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මොහුට විරුද්ධව අලුත් කඩේ, හොරණ සහ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණවල පවරන ලද නඩු 04ක් විභාග වෙමින් පවතී.
v විදෙස් ගත කරන බව පවසා රුපියල් හතලිස් දෙලක්ෂයක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අලුත් කඩේ මහසේත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
v මේ අතරතට භෞත චිකිත්සකවරියගේ රුපියල් කෝටි එකහමාරේ කොල්ලය ද ඇතුළත් ය.
මේ වාර්තා වූ ඒවාය. ඊට අමතරව මොහු රට වටේ කාන්තාවන් හැට හැත්තෑවක් පමණ රවටා ලිංගික සම්බන්ධතා පවත්වා මුදල් ද කොල්ල කා පලා ගිය සිද්ධි පවතින බව පොලිස් විමර්ශනවල දී හෙළි වී තිබේ.
සොරකමට, වංචාවට දිරි දුන් මව සහ බිරිඳ
මොහු ලක්සිරි ජීවිතයක් ගෙවන අතර අනියම් බිරිය සහ දරුවන්ට සැප සම්පත් දී තිබුණේ කාන්තාවන් රවටා ලබා ගන්නා මුදල්වලිනි. මොවුන් පදංචිව සිටියේ පල්ලෙකැලේ සුපිරි නිවාස සංකීර්ණයක ය. දරුවන් ඉගෙනුම ලබන්නේ අනිවත්තේ පිහිටි ඉහළම පෙළෙහි වැඩි මුදලක් අය කරන ජාත්‍යන්තර පාසලක ය. දරුවන් පාසල් යන්නේ සුඛෝපභෝගී වාහනවලිනි. මේ පුද්ගලයා මුදල් උපයන්නේ රට වටා ගොස් කාන්තාවන් රවට්ටවමින් බව (අනියම්) බිරිය ද දැන සිටියා පමණක් නොව ඒ සඳහා ආධාර අනුබල ද ලබා දී තිබිණි. ඊට අමතරව මොහුගේ මව ද මේ හොර වැඩ ගැන දැන සිට ඇති අතර මසකට ඇයගේ බැංකු ගිණුමට අනිවාර්යයෙන්ම රුපියල් ලක්ෂයක් හෝ ඊට වැඩි මුදලක් බැර කිරිමට ඔහු කටයුතු කර තිබිණි. මොහු අත්අඩංගුවට ගෙන නඩු පැවරූ අවස්ථාවල දී ඇප තැබීම ඇතුලු සියලු කටයුතු කර තිබුණේ මව විසිනි. එනම් දරුවා කරන ඔිනෑම අලුගුත්තේරු වැඩකට මේ අම්මාගෙන් ලැබුණ සහාය මොහුගේ හොර වංචා වැඩ වලට දිරියක් වූවාට සැකයක් නැත.
නුවරඑළියෙන් මතු වූ රහස
භෞත චිකිතසක වරිය හා සම්බන්ධයක් පටන් ගැනීමෙන් පසු මොහු ඇය ගේ මව් පිය වැඩිහිටියන් පවා හමුවීමට ගොස් ඇත. නමුත් ඒ යන විට වාහනයේ ප්‍රදර්ශනය කර තිබෙන ආදායම් බලපත්‍රයේ පිටපත පවා ගලවාගෙන යෑමට කටයුතු කර තිබුණේ ඔහුගේ අනන්‍යතාව කිසිසේත්ම හෙළි කර ගැනීමට නොහැකි වන අයුරිනි. ඇය ගේ වැඩිමල් සහොදරයාට සැක සිතී මොහු ගැන සොයා බැලීමට අවශ්‍ය බව කියද්දී ඇය පවසා තිබුණේ එවැන්නක් කිරිමට අවශ්‍ය නැති බවත් තමන්ට ඔහු විශ්වාස බවත්ය. රැකියාවෙන් ඉවත්වීමෙන් පසු රුපියල් එක් ලක්ෂ පනස් දහසක මාසික කුලී පදනම වත නුවරඑළියේ තට්ටු නිවෙසක් ගත්තත් ඇය ඒ බවක් පවුලේ අයට පවසා තිබුණේ නැත. නමුත් ඇයගේ අයියා මේ බව දැන ගන්නේ නුවරඑළියේ සිටින ඥාතියකුට ඇය අහම්බෙන් හමු වීම නිසා ය. ඒ හමුවීමේ දී ඇය පවසා තිබුණේ තමන් නුවරඑළියේ සිටින බව අයියාට නොපවසන ලෙස ය. කෙසේ වෙතත් ඇය සිටි ස්ථානය අයියාට දැන ගැනීමට හැකි වූයේ ඒ ඥාති සහෝදරයා ඇය ගේ කීම නොඅසා මේ බව දැනුම් දීම නිසා ය.
බොඳ වූ කැනඩා සිහිනය
මිය යන විට ඇය ද අනුන්නට කෝටියට වැඩි මුදලක් ණය වී තිබිණි. රෝහලේ හිතවත් අයගෙන් රැපියල් ලක්ෂ 70ක් ද බැංකු ණයක් ලෙසින් රුපියල් ලක්ෂ 50ක් ද වැඩිමල් සහෝදරියගෙන් ලක්ෂ 10ක් සහ රන් අභරණ උකස් කිරීමෙන් තවත් විශාල මුදලක් ද ඇය එකතු කරගෙන තිබුණේ මොහු සමග කැනඩාවේ පදිංචියට යෑමට සූදානමිනි. නමුත් අවසානයේ සිදු වූයේ ලෝකයට ණය කාරියක වී ජීවිතයෙන් සමු ගෙන යන්නට ය.
නුවරඑළිය පොලිසියේ කණ්ඩායමක් පසු ගිය දින කිහිපයේ ම නොයෙක් ප්‍රදේශ ආවරණය වන පරිදි මෙහෙයුම්වල නිරත විය. එහෙත් ඔහු සූක්ෂම ලෙස රටින් පලා යන්නට සැලසුම් කර තිබිණි. දරු තිදෙනා ගෙන් වැඩිමල් දරු දෙදෙනා නාරම්මල මවට බාර දී බිරිය සහ බාල දරුවා සමග ඉන්දියාවට පැන යන්නට උත්සාහ කර තිබුණේ තමන් දෙමළ ජාතිකයකු බවත් බිරිය මුස්ලිම් කාන්තාවක බවත් හැඟෙන පරිදි ය.
යාපනයට යන අතර මග...
භෞත චිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන් මොහු පවසා තිබුණේ තමන් එම කාමරයට යන විට ඇය ගෙළ වැළලාගෙන සිටි බවත් තමන් ඇය ඉන් මුදාගෙන රැගෙන විත් මෙම ස්ථානයේ දැමූ බවත්ය. ඇය ගේ දේහය සම්බන්ධයෙන් පැවැති පස්චාත් මරණ පරීක්ෂණයේ දී විවෘත තීන්දුවක් ලබා දී මරණයට හේතුව නිශ්චිත කර ගැනීම සඳහා සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත යවා ඇත.
මොන වේශයක් මවා ගත්තත් අපරාධකාරයින්ට නීතියෙන් මෙන්ම ස්වභාව ධර්මයෙන් ද ගැලවීමක් නැත. මොහු විග් එක ගලවා තට්ට හිසින් කැප් එකක් සහ මාස්ක් එකක් දාගෙන සිටියත් යාපනයට යන බසයේ දී අත්අඩංගුවට ගන්නේ ඒ ධර්මතාවල එකතුවක් ලෙසිනි. මේ අත්අඩංගුවට ගැනීම සිදු වන්නේ වලාන දූෂණ මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඔ්ලුගල ගේ මෙහෙයවීමෙනි. ඒ අනුව කාගෙන් සැඟවුණත් ඔ්ලුගල ගෙන් සැඟව සිටීමට අපරාධ කාරයන්ට නොහැකි බව යළිත් පසක් විය.
මූලාශ්‍ර - Cats eye news
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
