පාස්කු ප්‍රහාරය : සැකකරුගෙන් නැවත ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

පාස්කු ප්‍රහාරය : සැකකරුගෙන් නැවත ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට පත්වූ අල්කයිඩා ත්‍රස්ත කණ්ඩායම් සාමාජිකයකු විසින් කරන ලද ප්‍රකාශවලට අනුව ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගැනුණු පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු බව කියන සැකකරුගෙන් යළි ප්‍රශ්න කරමින් පාස්කු ප්‍රහාරයේ ඉදිරි විමර්ශන සිදු කිරීමට ක්‍රියා කරන බවට ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණය වෙත කරුණු වාර්තා කළේය. මෙම සැකකරු දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින අතර සැකකරුගෙන් ප්‍රශ්න කිරීමට ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයෙන් අවසර ඉල්ලූ අවස්ථාවේ බලධාරීහු මේ බව අධිකරණයට වාර්තා කළහ.

සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන මොහුගෙන් ප්‍රශ්න කිරීමට ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත රැගෙන යාමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ  ඊයේ (21) මේ අනුව ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත අවසර ලබා දුන්නේය.

මෝසමක් ගොනු කරමින් පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මොහොමඩ් ඉබ්රාහිම් සාදික් අබ්දුල්ලා නමැති සැකකරු ත්‍රස්ත ඒකකයේ දින තුනක් රඳවා විමර්ශන සිදු කිරීමට ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයෙන් අවසර ඉල්ලා තිබුණි.

1948 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව මෙම ඉල්ලීම සිදු කරන බව සඳහන් කළ ත්‍රස්ත විමර්ශන ඒකකය ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් අල්කයිඩා ත්‍රස්ත කණ්ඩායම් සාමාජිකයා විසින් සිදු කරන ලද ප්‍රකාශවලට අනුව මෙම විමර්ශනය සිදු කරන බව සඳහන් කළේය. ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් අල්කයිඩා ත්‍රස්ත කණ්ඩායමේ සාමාජිකයා මෙම සැකකරු සමඟ සබඳතා පැවැත්වූ බවට කරුණු අනාවරණය කර ඇති අතර, සැකකරු සම්බන්ධ වූ විදේශීය දුරකතන 24ක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බවට ද ත්‍රස්ත ඒකකය අධිකරණය වෙත කරුණු වාර්තා කළේය.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන නඩුවේ මොහු ඇතුළුව සැකකරුවන් 24කට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරමින් නඩු විභාගයක් පැවැත්වෙන අතර, පාස්කු ප්‍රහාරයට ආයුධ සැපයීම සම්බන්ධයෙන් ද මොහු ඇතුළු තවත් සැකකරුවන් අටදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළ නඩුවක් විභාග වෙමින් පවතී. මොහොමඩ් ඉබ්රාහිම් සාදික් අබ්දුල්ලා පාස්කු ප්‍රහාරයට ප්‍රථම මාලදිවයින කරා ගොස් අල්කයිඩා ත්‍රස්ත කණ්ඩා‍යමේ පුහුණුව ලබා විදේශීය ත්‍රස්තයින් සමඟ සබඳතා පවත්වා ඇති බවට ද කරුණු අනාවරණය වන බවට අධිකරණයෙන් වාර්තා‍ වේ. මීට අමතරව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු මෙම සැකකරු ද යන්න සම්බන්ධයෙන් සැකයක් පවතින බවට අධිකරණය හමුවේ කරුණු අනාවරණය විය. අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා දැනට බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරු මේ මස 24 වන දින සිට 28 වන දින දක්වා ත්‍රස්ත ඒකකයේ රඳවා තැබීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන‍ ලෙසට බන්ධනාගාර අධිකාරිවරයා වෙත නියෝග නිකුත් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න