Language Switcher

V2025

රනිල් යුගයේ ඇරඹුම !

අසත්‍යයට, බොරුවට ඉඩක් ඇත්තේ සත්‍ය අනාවරණය වන තුරු පමණය. අසත්‍ය විසින් කොහොම සත්‍ය යටපත් කරන්න හැදුවත් දියේ ගිල්ලවන්නට වෙර දරන රබර් බෝලයක්, යළි යළිත් දිය මතුපිටට පැමිණෙනවා මෙන් අසත්‍ය දෙබෑකරගෙන සත්‍ය මතුපිටට පැමිණෙයි. එපමණක් නොව එහිදී සත්‍ය විසින් අසත්‍ය මුළුමනින්ම නිරාවරණය කරයි. මාර්තුව ඇරැඹුණේද එහෙමය. ඒ පසුගිය කාලය පුරා නරුම විපක්ෂය නිතර මතුරා වැපුරූ අසත්‍යයක් අනාවරණය කරමින්ය. එනම් ජනවරමක් නැති ජනාධිපති රනිල්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF ) සමඟ සාකච්ඡා මිස මූල්‍ය සහයක් නම් නොලැබෙන බවය.

විපක්ෂයේ මේ අසත්‍ය වැපිරීම ඇරඹුණේ ජනාධිපති ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ පත්වූ අවස්ථාවේ සිටමය. එහිදී විපක්ෂය කියා සිටියේ ජනාධිපතිට කිසිදු ජාත්‍යන්තර දේශපාලන සහායක් නොමැති බවය. ඊට හේතුව ලෙස විපක්ෂය කිව්වේ, ජනාධිපතිට ජනවරමක් නැති බවය. නමුත් ජනාධිපති ධුරය ලබා මාස කිහිපයක් යන තැන විපක්ෂයේ ඒ සියලු චෝදනා බොරු බව ජනාධිපති රනිල් ඔප්පුකර පෙන්වීය. එපමණක් නොව ශ්‍රී ලංකාව මුහුණදී සිටින ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා කඩිනමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට යාම අත්‍යවශ්‍ය බවත් නැතහොත් රට මුහුණදී ඇති අර්බුදය තවත් දශක ගණනාවක් ඇදී යනු ඇති බවද පැවසීය.

එහිදී ද විපක්ෂය චෝදනා කළේ මෙරට දේශපාලනය අස්ථාවර නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ වැඩසටහනක් සඳහා යොමු නොවන බවය. රනිල්ගේ ආණ්ඩුවට ජන වරමක් නැති නිසා IMF මූල්‍ය සහනයක් නොලැබෙන බවය. IMF සහාය ලැබීමට නම් කඩිනමින් මැතිවරණයක් පවත්වා ජනතා සහය ඇති ආණ්ඩුවක් පිහිටවිය යුතු බවය. රටේ ආර්ථිකය නැත්තටම වැටී අන්තිම හුස්ම හෙළමින් සිටි පසුබිමේ විපක්ෂයේ පාර්ශ්ව හොද්ද බොර කරගන්න ගියේ එහෙමය. ඒ හමුවේ ජනාධිපතිවරයාගේ හැසිරීම සිහිපත් කළේ "ලෙඩ්ඩු කළබල වුණාට දොස්තර කළබල නෑ" යන කියමනය. විපක්ෂයේ මේ කිසිම කතාවකට පිළිතුරු දෙන්න ජනාධිපති රනිල් කටයුතු කළේ නැත. ඒ වෙනුවට ඔහු කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලංකාවේ ණය හිමියන් සහ ලෝක බැංකුව ඇතුළු රාජ්‍ය සහ සංවිධාන සමඟ තම නියෝජිතයන් යොදවා අඛණ්ඩව සාකච්ඡා පැවැත්වීමය. මාස කිහිපයක් තිස්සේ සිදුකළ ඒ සාකච්ඡාවල ප්‍රතිඵල දැන් පැමිණ ඇත.

එනම් ශ්‍රි ලංකාව ඉල්ලුම් කර තිබෙන ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකම ලබාදීම, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අනුමත කර ඇති බවය. ඒ සම්බන්ධයෙන් අද හෙටම දිනයක නිල ප්‍රකාශයක් මුල්‍ය අරමුදල විසින් සිදු කිරීමට නියමිතය.

ණයහිමියන්ගේ එකඟත්වය

ණය පහසුකම් ලබාගැනීම වෙනුවෙන් මුල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කරනු ලැබු ආර්ථික ප්‍රතිසංස්කරණ නිර්දේශ සියල්ල මේ වන විට ශ්‍රි ලංකාව සපුරා තිබෙන අතර ප්‍රධාන කොන්දේසිය වූ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව එම සියලු ණයහිමියන්ගේ එකඟත්වය ද ලැබී ඇත. අවසන් වශයෙන් චීනයද ඒ සඳහා ඇති එකඟත්වය පසුගියදා පළ කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණ.

එසේම පසුගිය 02 වනදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ ක්‍රිස්ටෙලා ජොර්ජිවා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් සූම් අන්තර්ජාල යෙදවුමක් හරහා සිදුව තිබිණි. එහිදී ණය පහසුකම ලබාගැනීම සහ ණය ප්‍රතිවයුහගත කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබු අතර ණය පහසුකම් ලැබීම සම්බන්ධයෙන් එහිදී සුබවාදී ප්‍රතිචාරයක් හිමිව තිබිණි. ඇය මෙම සාකච්ඡාවට සම්බන්ධ වූයේ චීන අගමැතිවරයා සමඟ කළ සාකච්ඡාවෙන් අනතුරුව වීමද විශේෂත්වයක් ය. චීන අගමැති ලී කෙකියැං සමඟ IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය සිදුකළ සාකච්ඡාවේදී ණය අර්බුදයට මුහුණ දෙන ශ්‍රී ලංකාව වෙනුවෙන් තමන්ගේ සහාය ලබාදීමට විවෘතව සිටින බව චීන අග්‍රාමාත්‍යවරයා සහතිකව ඇති බවත් දැනගන්නට ඇත.

මේ සමඟ IMF සමඟ වැඩසටහනකට යාමේ අවස්ථාව මෙරටට හිමි වෙයි. ඒ සමඟ පසුගිය සමයේ වූ වැරදි, ජනප්‍රියවාදී ආර්ථික උපාය මාර්ග හමුවේ නිල වශයෙන් බංකොලොත් බව ප්‍රකාශ කිරීම නිසා ලෝකයේ කිසිදු රටක්, මූල්‍ය ආයතනයක් සමඟ මූල්‍ය ගනුදෙනුවක් කිරීමට තිබූ බාධාවද ඉවත්ව යයි.

මේ හමුවේ නිරාවරණය වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ශ්‍රී ලංකාවට නොලැබෙන බවට හෝ තවත් මාස ගණනක් කල් යන බවත් ජනවරමක් නැති ආණ්ඩුවකට ණය නොදෙන බවත් ආදී වශයෙන් මේ වනතුරුත් ඇතැම් විපක්ෂ කොටස් ප්‍රචාරය කරමින් සිටි අසත්‍යයයි. විපක්ෂයේ නරුම දේශපාලනය විසින් ඒ අවස්ථාවේ සඟවනු ලැබුවේ, IMF ඇතුළු ජාත්‍යන්තර මුල්‍ය බලවතුන් ගනුදෙනු කරන්නේ ශ්‍රී ලංකාව කියන රාජ්‍යය සමඟ මිස රනිල්ගේ ආණ්ඩුව සමඟ නොවන බවය. කොහොම නමුත් විපක්ෂය මූලිකව ගොඩනැගූ ඒ අසත්‍යයේ අවසානයේ සැරටම ගිලුණේ විපක්ෂ නායක සජිත්ය. ඔවුන්ම ගොඩනැගූ අසත්‍යයේ සජිත් කොච්චර ගිලුනාද කිව්වොත්, "මේ ආණ්ඩුව සමඟ IMF ඇතිකර ගන්න ගිවිසුම්වලට අපේ සජබ ආණ්ඩුවක් යටතේ වලංගු නැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිහි තබාගත යුතුයි" කියා තග දමන තැනට පහතට වැටිණ.

නමුත් වත්මන් ප්‍රතිඵල ඔප්පු කර ඇත්තේ කතා සාප්පු වලට, ඊනියා කයිවාරුවලට ජනාධිපතිවරයාගේ වැඩ පිළිවෙළ සීමා කරන්න හෝ කඩාකප්පල් කරන්න නොහැකිව ඇති බවය. නමුත් ඒ උත්සාහය ඔවුන් අත්හැර නොමැති බවත් ජනතාව සිහිතබා ගතයුතුව ඇත. විශේෂයෙන් ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරතිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ කඩාකප්පල් කිරීමට ඔවුන් ඕනෑම වන්දියක් ගෙවීමට සූදානමක් ඇති බව පෙනෙන්නට ඇත. ඊට ආසන්නතම උදාහරණය වන්නේද IMF මූල්‍ය පහසුකම මෙතරම් කඩිනමින් අනුමතකර ගැනීමට හැකිවීමය. අර්බුදය විසඳා ගැනීම සඳහා අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්ව තිබුණේ මුල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම පමණය. දහසකුත් බාධා මධ්‍යයේ මේ කටයුත්ත මෙතරම් කඩිනම් වුයේ ජනාධිපතිවරයා ආර්ථික අර්බුදය විසඳීම සඳහා ගත යුතු පියවර නිසි වේගයෙන් ගෙන සෘජුව ක්‍රියාත්මක කිරීමට තරම් එඩිතර වීම නිසාය. එසේ නොවන්න තවත් මාස කිහිපයක් ගියා නම් රට පත්වන්නේ පසුගිය වසරේ මැයි - ජූලි මාසවල රට තිබූ තත්ත්වයටත් අන්ත තත්ත්වයකටය. ඒ අනුව IMF වැඩසටහන සඳහා යොමු වීම සාර්ථක කර ගැනීම එම පියවර ක්‍රියාත්මක කිරීමට හැකි වීම මේ මොහොතේ සියලු ලක්වාසීන් ලැබූ ඉහළම ජයග්‍රහණයක් වන අතර මිලියන 22 ක ජනතාව විසින් අනිවාර්යයෙන් සැමරිය යුතුද මොහොතකි.

එසේ වුවත් දේශපාලනය කියන්නේ බල ක්‍රීඩාවක් නිසා ජනාධිපතිට සිතුසේ සෙල්ලම් කරන්න දෙන්න විපක්ෂය සූදානම් නැත. ඒ නිසාම ඔවුන් දැන් IMF ගැන කියූ බොරු පසෙකට ගෙන සටන් පාඨ මෙන්ම සටන් පෙරමුණුද වෙනස් කර ඇත. විපක්ෂය දැන් යළිත් සටන් පෙරමුණක් නිර්මාණය කරන්න කැස කවන්නේ ආදායම් බදු ප්‍රතිශතය ඉහළ දැමීමට එරෙහිවය. මේ සම්බන්ධව වෘත්තීයවේදීන් යැයි කියාගන්නා පිරිසක් පසුගියදා මාධ්‍ය සංදර්ශනයක් පවත්වා තර්ජනය කර සිටියේ, 53 හර්තාලය ගැන අහලා තිබුණාට දැක නොමැති කාටත් මාර්තු මාසයේ එය අත්දකින්න ලැබෙනු ඇති බවය. ඒ ආකාරයේ තර්ජනයක් ඔවුන් එල්ල කරන්නේ ආදායම් බදු ප්‍රතිශතය වැඩි කිරීමට එරෙහිවය. ආණ්ඩුව සිය ප්‍රතිපත්තිය හකුළා ගන්නේ නැත්නම් 53 හර්තාලයටත් වඩා දරුණු වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා තැනට කටයුතු කර රටම ඇනහිටවන බවය. මේ වෙනුවෙන් තීන්දුවක් ගැනීමට ආණ්ඩුවට ඔවුන් විසින් ලබාදී ඇති අවසන් දිනය මාර්තු 08 වනදාය.

රජයේ ආදායම

විපක්ෂ කොටස්වල සහ ඉහළ වෘත්තිකයන්ගේ කුහක වෘත්තීය සමිතිවල විරෝධයට ලක්ව තිබෙන රජයේ නව බදු සංශෝධනය, පිළිබඳව IMF ප්‍රමුඛ ජාත්‍යන්තර මූල්‍ය බලවතුන් පවසන්නේ රජය ගත් මේ පියවර නිවැරදි මෙන්ම කාලෝචිත බවය. විශේෂයෙන් නව බදු ප්‍රතිපත්තිය හරහා හඳුන්වාදී තිබෙන පුද්ගලික ආදායම් බදු අනුපාතය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමත කරන බවද එම සංවිධාන පවසයි. ලංකාවේ ප්‍රධාන අර්බුදය වන්නේ වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් ලෙස ආදායම් නොලැබීමය. 2021 වසරේ දී දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස බදු ආදායම 7.3% කි. එය ලෝකයේ අනෙකුත් රටවල් හා සසඳා බැලීමේ දී අඩු බදු එකතු කිරීමකි. එම තත්ත්වය 14% -15% ක ආසන්නයටවත් ගෙන ඒමට අසමත් වුවහොත් රටට සිදුවන්නේ තවදුරටත් අර්බුදයේම ගිලී වැනසෙන්නටය.

අවිචාරශිලී බදු සහන

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කළ කරුණක් වන්නේ රජයේ ආදායම් වියදම් අතර තිබෙන අධික පරතරය පියවීම සඳහා මූල්‍ය පහසුකම් ලබාදීමට බාහිර ණය හිමියන් ප්‍රතික්ෂේප කරන බවය. ඒ තම රටවල වැසියන්ගෙන් බදු හරහා අයකර ගන්නා බදු මුදල්, එසේ බදු අයකර ගැනීමට අසමත් වීම ආර්ථික අර්බුදයේ කොටසක් බවට පත්කරගෙන සිටින රටකට ලබාදීම ප්‍රශ්නයක් කියාය. එය ඇත්තය. අඩුම තරමින් ණයක් ගන්න රටකට ඒ හැකියාවවත් තිබිය යුතුය. ඒ අනුව රජයේ ආදායම් ඉහළ නංවාගැනීම සඳහා බදු සංශෝධනය අත්‍යාවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහස විය. එමෙන්ම මෙම බදු සංශෝධනය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බාහිර ණය හිමියන්ගේ විශ්වාසය නැවත දිනා ගැනීමට ද අත්‍යාවශ්‍යය. ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව ක්‍රියාවට නැංවූයේ ඒ ප්‍රතිපත්තිය ය.

මේ සියල්ල සඟවන විපක්ෂයේ බදු විරෝධී පිල්ලි සත්‍ය විකෘති කරන්න ගෙන ඇත්තේ, රජය බදු වැඩි කර ඇත්තේ වෘත්තිකයන්ට නැතිනම් ලක්ෂයට වඩා වැටුප් ලබාගන්නා අයට පමණක් බව හැඟෙන ප්‍රකාශ සිදුකරමින් ය. විශේෂයෙන්ම මහා පරිමාණ පෞද්ගලික සමාගම්, ව්‍යාපාරයන් ආදියෙන් නියමිත බදු අය කරගන්නේ නැති බව, එම පාර්ශ්වවලට බදු සහන හිමිවීම හෝ බදු පැහැර හැරීමට අවස්ථාව දී ඇති බවත් කියමින් ඇත. ඒ නිසා බදු හොරුන්ගෙන් බදු අයකර නොගෙන මේ ඉහළ වෘත්තිකයන්ගෙන් බදු අය කරගැනීම අසාධාරණ බව මේ පිරිසේ කයිවාරුවය. නමුත් මෙය ප්‍රලාපයකි. 2021 වසරේ බදු අය කරගැනීම් සහ 2023 වසරේ බදු ඇස්තමේන්තු පරික්ෂාකර බැලුවහොත් ඉතා පැහැදිලිව විශාල වශයෙන් බදු අය කරගැනීමක් සිදුකර ඇත්තේ කවරෙකුගෙන්ද යන්න පැහැදිලි වෙනු ඇත. 2021 දී උපයන විට බදු ආදායම වූයේ රුපියල් මිලියන 15,353 කි. එය මිලියන 100,000 කට ගෙන ඒම මෙම වසරේ අපේක්ෂාවය. එමෙන්ම ආයතනික ආදායම් බදු ලෙස 2021 දී ලැබුණේ රුපියල් මිලියන 249,837 කි. එය රුපියල් මිලියන 597,000 දක්වා මෙම වසරේදී අපේක්ෂා කරයි. මේ ආකාරයෙන් මෙරට පවතින බදු වර්ග 20 කින් පමණ බදු ආදායම් ඉහළ දැමීම සිදුකර ඇත. ඒ අනුව 2021 දී රුපියල් මිලියන 302,115ක් වූ එම බදු ආදායම රුපියල් මිලියන 912,000 දක්වා ඉහළ නංවා ගැනීමට අපේක්ෂිතය. සමස්ත බදු ආදායමෙන් උපයන විට බදු ප්‍රතිශතය 11% ක් පමණය.

2021 වන විට බදු ආදායම් පහළ වැටුනේ කිසිදු වග විභාගයක් නැතිව බදු සහන දෙමින් බදු ලිපිගොනු ප්‍රමාණය ලක්ෂ 5 කට ආසන්නව පහත දැමීම නිසාය. 2019 වන විට බදු ලිපි ගොනු ලක්ෂ 14ක් ඉක්මවා තිබුණු අතර එය තවදුරටත් පුළුල් කර බදු නොගෙවන එහෙත් ඉහළ ආදායම් ලබන පිරිස බදු ක්‍රියාවලියට දායක කරගැනීමේ සැලසුම් සකස් කර තිබිණි. එම ක්‍රියාමාර්ග සියල්ල අත්හිටුවීම මත රාජ්‍ය ආදායම අඩකින් පමණ අහිමි වී රට බංකොලොත් විය. රටේ ආර්ථිකය 2019 වසරේ තත්වයට හෝ ගෙන ඒමට නම් එම වසරේ ක්‍රියාත්මක බදු ක්‍රමය යටතේත් තවත් පහක් හයක් ක්‍රියාත්මක කළ යුතුව තිබිණි. නමුත් රට තවත් කඩා වැටීම වැළැක්වීමට නම් ඊට පෙර කඩිනමින් ගත යුතු ක්‍රියාමාර්ග මඟ හැරිය නොහැකි විය. ඒ අනුව එකවර වැඩි ප්‍රතිශතයකින් බදු වැඩි කිරීමටත් බදු නොගෙවා සිටි අය එම ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීමෙත් දැඩි පියවරකට යෑම රජයට අනිවාර්ය විය. එය සාර්ථක වුවහොත් රාජ්‍ය ආදයම යම් ස්ථාවරත්වයකට පත් වී අනෙක් ආදායම් මාර්ග විවර වීමත් සමඟ මෙම වසර අවසන් වන විට විශේෂයෙන්ම උපයන විට බදු ගෙවන පිරිස් වෙත යම් බදු සහනයක් ලැබීමේ හැකියාව තිබේ. එතෙක් බදු බර දරන්න වෙනු ඇත. ඒ වැළැක්විය නොහැකිය. එහෙත් ඇත්ත ප්‍රශ්නය මේ බදු බර නොවේ. ඔවුන්ගේ ණය තුරුස්ය. එය නම් විසඳා ගතයුතුව තිබෙන්නකි.

එඩිතර නායකත්වය

කොහොම නමුත් මේ වන විට උද්ධමනය වේගයෙන් පහළ යමින් ඇත. ඩොලරයේ අගයත් යම් තරමකින් අඩුව ඇත. පොලී අනුපාතය ද අඩු වෙමින් තිබේ. ශ්‍රී ලංකාව මිහිමත ශාපලත් රටක් වීමේ අනතුර දැන් මුළුමනින්ම පහව යමින් ඇත. ඒ සියල්ල සිදු වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් කඩිනම් හා නිවැරදි ක්‍රියාමාර්ග නිසාය. ජනාධිපතිවරයා පෙන්වා දෙන පරිදි මෙම වසර අවසන් වන විට සියලු දෙනාටම යම් සහනදායක කාලයක් උදා වීමක් සිදුවෙනු ඇත. ඒ බව බොහෝ ආර්ථික විශේෂඥයන් පවා අවධාරණය කරන්නක් ය. කෙසේ හෝ මේ මොහොත රටට අත්පත් කරදුන්නේ රනිල් වික්‍රමසිංහගේ එඩිතර නායකත්වයය. ඒද විපක්ෂයේ කිසිම සහායක් නොමැතිවය. දැන් ඇත්තේ ඊළඟ පියවර ක්‍රියාවට නැංවීමය. එනම් 2048 බලගතු සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා ජනාධිපතිවරයාගේ ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීමය. මෙය ශ්‍රි ලංකාවේ විප්ලවීය සමයක් ලෙස හැඳින්විය හැකි තරම් බරපතළ ව්‍යුහමය වෙනසක් කරන පළමු අවස්ථාව බව කිව යුතුය. 1978 දී ආර්ථිකය විවෘත කිරීමට එහා ගිය වෙනසක් මෙවර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් සිදුවෙමින් තිබේ. ඒ අනුව මේ මොහොත කියන්නේ "රනිල් යුගයේ ආරම්භය" ය.

 කුලසිරි ලියනගේ