අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගනුලැබූ තීන්දු තීරණ සම්බන්ධයෙන් සිදුවන අසත්‍ය ප්‍රචාර තවදුරටත් සිදුවනවා නම් තමන් ඇතුළු පක්ෂයේ නායකයන්ගේ වහලා තිබෙන කටවල් ඇරීමට සිදුවන බව ශ්‍රීලනිප මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක සඳහන් කරයි.
කෘෂිකර්ම අමාත්‍යංශයේ අද (18) පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මෙසේ අවධාරණය කල අතර ඒ විශ්වාසභංග යෝජනාවේදී සිදුවූ සත්‍ය පවසමින් රටවටා යන බවට ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 කණ්ඩායම සිදුකරන ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්ය.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ආණ්ඩුවේ මතභේද ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුඩා කණ්ඩායම් දෙකක් කටයුතු කළ බවය. එසේම ආණ්ඩුවෙන් ඉවත්වු ශ්‍රීලනිප 16 ආරක්ෂා කිරීමට විශ්වාසභංග යෝජනාව වර්ජනය කළ තමා ඇතුළු 23 කණ්ඩායම හැකි සෑම විටම කටයුතු කළ නමුත් තමාව සහ මහින්ද අමරවීර අමාත්‍යවරයාව එක්සත් ජාතික පක්ෂයට තල්ලු කිරීමට ඇතැමුන්ට අවශ්‍යව තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය.
එසේ වුවත් තමා හෝ මහින්ද අමරවීර අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයට යාමට කිසිඳු අදහසක් නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.
තවද ආණ්ඩුව පවත්වාගෙන යාමට තුනෙන් දෙකක් නොමැති බවට පළවන කතා සම්බන්ධවද එහිදී අමාත්‍යවරයා අදහස් දැක්වූ අතර ආණ්ඩුව ගෙන යාමට තුනෙන් දෙකක් අවශ්‍ය නොවන බවත් ආණ්ඩුව හොඳ යෝජනා ගෙන ආ විට පාර්ලිමේන්තුවේ මන්ත්රීවාරුන් ඊට තුනෙන් දෙක ලබාදෙනු ඇති බවද පැවසීය.

