මෙය මැතිවරණයක් සඳහා මුදල් වැය කළ යුතු කාලයක් නොවේ !

 මෙය මැතිවරණයක් සඳහා මුදල් වැය කළ යුතු කාලයක් නොවේ !

ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට රට මුහුණ පා සිටින බවත්, මේ වන විට රාජ්‍ය මාසික ආදායම ප්‍රමාණවත් වන්නේ රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ සමෘද්ධි දීමනා සඳහා පමණක් බවත් මුදල් අමාත්‍යාංශයේ ‍ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

පවතින මූල්‍ය අර්බුදය විසඳීම සඳහා මේ වන විට ක්‍රමානුකූලව පියවර ගෙන තිබෙන බව පෙන්වා දෙන එම නිලධාරියා ලබන වසරේ මාර්තු මාසය පමණ වන විට එහි සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකිවනු ඇති බව පැවසීය.

මෙවැනි පසුබිමක මැතිවරණයක් සඳහා මුදල් වෙන් කිරීම සිදු කළ නොහැකි අතර ‍එලෙස මුදල් වෙන් කිරීමට සිදුවුවහොත් ආර්ථිකය ගොඩගැනීම සඳහා පසුගිය මාස 06ක් තුළ දියත් කළ වැඩපිළිවෙළ විනාශ වී රටේ උද්ගතව තිබෙන ආර්ථික අර්බුදය තවත් තිව්‍ර වනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

මේ පිළිබඳ වැඩිදුරටත් දැක්වූ එම නිලධාරියා මෙසේ ද කීය.

මේ වන විට රජයේ මාසික ආදයම ප්‍රමාණවත් වන්නේ රාජ්‍ය සේවක වැටුප් සඳහා රුපියල් මිලියන 93,000ක්, විශ්‍රාම වැටුප් රුපියල් මිලියන 26,500ක්, සමෘද්ධි දීමනා සඳහා රුපියල් මිලියන 6,000ක් වෙන් කිරීම සඳහා පමණයි.

ඊට අමතරව සමාජ සුබසාධක ප්‍රතිලාභ සඳහා රුපියල් මිලියන 3,500ක්, ඖෂධ හා සෞඛ්‍ය සේවා සඳහා රුපියල් මිලියන 3,000ක් , හමුදා සලාක සඳහා රුපියල් මිලියන 2,000ක් ,පොහොර සඳහා රුපියල් මිලියන 2,000ක්, ඉන්ධන, විදුලිය, ජලය සහ රක්ෂණ සඳහා රුපියල් මිලියන 7,000ක් අනෙකුත් පුනරාවර්තන වියදම් සඳහා රුපියල් මිලියන 3,000ක් මෙන්ම ණය ගෙවීම් ආදී සියලු කටයුතු සඳහා ණය ගත යුතුව තිබෙනවා. මෙහිදී රජය වෙත බැංකුවලින් ලබා දෙන ණය අයිරාද අඩු කර ඇති බැවින් ඇති එකම විකල්පය මහ බැංකුවෙන් මුදල් ලබා ගැනීමයි.

ඒ අනුව මැතිවරණයකට මුදල් ලබා ගත යුත්තේද මහ බැංකුවෙන් වන අතර මුදල් නෝට්ටු මුද්‍රණය හේතුවෙන් තවදුරටත් උද්ධමනය ඉහළ යෑම වැළැක්විය නොහැකියි. එසේ වුවහොත් ජනතාවට දැඩි පීඩනයකට මුහුණ දීමට සිදු වනවා.

රට යම් ස්ථාවරත්වයකට පත් වීමට අවම වශයෙන් තවත් වසරක පමණ කාලයක් අවශ්‍ය වෙනවා. මේ වන විට රටේ ආර්ථික පීඩනය යම් දුරකට සමනය කරගෙන තිබෙනවා.පසුගිය කාලයේ කෘෂිකර්මාන්තය හා වී ගොවිතැන සඳහා ලබාදුන් සහන සහ රාජ්‍ය අනුග්‍රහය මත මේ වන විට සහල් අතිරික්තයක් ඇතිවීම දක්වා එම ක්ෂේත්‍රයේ ප්‍රතිඵල ලැබී තිබෙනවා.
නමුත් මැතිවරණයක් සඳහා අතිවිශාල ධනස්කන්ධයක් වැය කළහොත් රටේ යළි ආර්ථික කඩා වැටීමක් සිදුවීම නොවැළැක්විය හැකියි. රට තුළ එවැනි ආර්ථික පසුබැසීමක් යළි සිදුවුවහොත් නැවත ආර්ථිකය ගොඩනැගිය හැකි පසුබිමක් ද රට තුළ නැහැ.

විශේෂයෙන් ලබන වසරේ මාර්තු මාසය පමණ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ සහය ලැබීමෙන් පසු බැංකුවලින් ණය ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. එසේම නව බදු ප්‍රතිපත්ති හරහා රජයේ ආදායම් තත්ත්වය වර්ධනය වෙනවා. එවිට ආර්ථිකයට පීඩනයක් එල්ල නොවන අයුරින් මැතිවරණයක් පැවැත්විය හැකියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න