Language Switcher

V2025

බන්ධනාගාර රැඳවියන් ගැන විශේෂ තීන්දුවක් ගැනීමේ සූදානමක් !

මරණ දඬුවම්, ජීවිතාන්තය දක්වා සහ බරපතළ අපරාධවලට බන්ධනාගාරගතව සිටින බරපතළ රෝගාබාධවලට සහ වයස්ගත වූ රැඳවියන් විශේෂඥ වෛද්‍ය කමිටුවලට යොමු කර සහන සැපයීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට අධිකරණ අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ කාර්යක්ෂම බන්ධනාගාර පද්ධතියක් පවත්වාගෙන යාම අරමුණු කරගනිමින් අධිකරණ ආමාත්‍යවරයා විසින් මෙම තීරණය ගනු ඇති බවය.

එහිදී දිවයිනේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින අධික තදබදය, සිරකරුවන් පුනරුත්ථාපනය සහ යහපත් පුරවැසියන් ලෙස යළි සමාජගත කිරීමේ අභියෝගය ද සැලකිල්ලට ගෙන බන්ධනාගාර ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ සමාජ අපරාධ අවම කිරීම පිළිබඳවද අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබේ.

යල් පැනගිය නීති සහ රෙගුලාසි සංශෝධනය කරමින් බන්ධනාගාර පද්ධතිය රටට සහ ජන සමාජයට බරක් නොමැතිව පවත්වාගෙන යාමද මෙහි අරමුණක් වී ඇත.

දිවයිනේ බන්ධනාගාර පද්ධතිය තුළ දඬුවම් ලැබූ සිරකරුවන් 10,200 අධික පිරිසක් සිටින අතර 16,000 අධික පිරිසක් විවිධ සුළු අපරාධ හා වැරදි යටතේ රිමාන්ඩ් සිරකරුවන් ලෙස රැඳවුම් නියෝග ලැබ තිබේ.

ලෝකයේ දියුණු රටවල සහ ආසියාතික ඇතැම් රටවල ද බන්ධනාගාර පද්ධතිය සමාජ අපරාධ පාලනය කරමින් යහපත් පුරවැසියන් ලෙස සමාජගත වීම සඳහා විශේෂ පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක වුවද, ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ සමාජ විද්‍යාත්මක පර්යේෂණවලින් සිරකරුවන්ගේ ආකල්ප එතරම් දියුණු මට්ටමින් සංවර්ධනය නොවන බව හඳුනාගෙන තිබේ .

ඒ අනුව සිරකරුවන්ගේ සුබසාධනය, සමාජ ආරක්ෂාව සහ ආකල්ප පෝෂණය පිළිබඳව ද අවධානය යොමු කරමින් දැනට බන්ධනාගාරගත රෝග සංකූලතා හා වෙනත් ශාරීරික සහ මානසික රෝග සැලකිල්ලට ගෙන බන්ධනාගාර පද්ධතිය තුළ ගුණාත්මක වෙනසක් සිදු කිරීම සඳහා මෙම පියවර කඩිනමින් ගැනීමට අධිකරණ අමාත්‍යංශය කටයුතු කරන බවද අධිකරණ අමාත්‍යවරයා පවසයි.