FB මඩවලට එරෙහිව මහින්ද නීතියට

FB මඩවලට එරෙහිව මහින්ද නීතියට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රචාර එල්ල කරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එම පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ උපදෙස් දී ඇතැයි වාර්තා වේ..

පොදුජන පෙරමුණු පක්ෂයට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ එසේ මඩ ප්‍රචාර එල්ල කරන කිහිප දෙනෙකු මේ වනවිට හඳුනාගෙන ඇති අතර ඔවුන් පිළිබඳව නීති මගින් කටයුතු කිරීම සඳහා පක්ෂයේ නීතිඥ කණ්ඩායමට එම විස්තර ලබාදීමට කටයුතු කරන බවද මේ පිළිබඳ කළ විමසීමකදී පොදුජන පෙරමුණු මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පැවසීය.

මෙම මඩ ප්‍රචාර දියත් කිරීමට සමාජ මාධ්‍ය ඔස්සේ කණ්ඩායම් කිහිපයක් මේ වනවිට කටයුතු කරමින් සිටින බව ද සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ නම්වලින් පෙනී සිටිමින් පොදුජන පෙරමුණට හා එම පක්ෂ නායකයන්ට මඩ ප්‍රහාර දියත් කිරීමට මෙම පිරිස කටයුතු කරමින් සිටින බව ද සාගර කාරියවසම්  පැවසීය.

විශේෂයෙන් ම, එළඹෙන මැතිවරණ ඉලක්ක කරගනිමින් පොදුජන පෙරමුණු පක්ෂය පිළිබඳව ජනතා අප්‍රසාදය ඉස්මතු කරලීම සඳහා මෙම පිරිස බළකායක් ලෙස එක්වී පක්ෂයට පහර දෙන බව ද ඒ මහතා පැවසීය.

මෙම මඩ ප්‍රහාර එල්ල කරන පිරිස පසුගිය දා පැවති අරගලයේදී ද තම පක්ෂයටත්, නායකයන්ටත් විශාල වශයෙන් අගතියක් වන ලෙස අවලාද හා අපහාස සිදු කළ බව ත් තම පක්ෂය ඔවුන්ව හඳුනාගෙන ඇති අතර කඩිනමින් මෙම පිරිසට නීති මගින් කටයුතු කිරීමට පක්ෂ නායක මහින්ද රාජපක්ෂ උපදෙස් දුන් බවද පක්ෂ ලේකම්වරයා කීය.

මේ පිළිබඳව මේ වනවිට පක්ෂයට සම්බන්ධ නීතිඥවරුන් කරුණු අධ්‍යයනය කරමින් සිටින අතර එළඹෙන සතියේදී ඒ පිළිබඳ අවසන් තීරණයකට පැමිණ ඇති බව ත් සාගර කාරියවසම්  වැඩිදුරට ත් කීවේ ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න