ළමා මන්දපෝෂණයට විසඳුම් දෙන්න CBKගෙන් වැඩපිළිවෙලක්

ළමා මන්දපෝෂණයට විසඳුම් දෙන්න CBKගෙන් වැඩපිළිවෙලක්

වර්තමානයේ දරුවන් අතර පවතින මන්දපෝෂණය පිළිබඳ ගැටලුවට පිළියම් යෙදීමේ අවශ්‍යතාව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග (CBK) අවධාරණය කර සිටියි.

රටවල් 200ක් අතරින් දරුණුම මන්දපෝෂණය පවතින රටවල් දහය අතරට ශ්‍රී ලංකාව මේ වන විට ඇතුළත්ව ඇති බවත් අවුරුදු පහට අඩු දරුවන්ගෙන් 20%කට අධික ප්‍රමාණයක් දැඩි මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන බවත් ඇය කියා සිටියි.

ඇය මේබව කියා සිටියේ, නොවැම්බර් 16 වන බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සඳහා වූ ජාතික ඒකාබද්ධ යාන්ත්‍රණයේ දෙවන රැස්වීමේදීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පිළිබඳ ජාතික ඒකාබද්ධ යාන්ත්‍රණයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාව ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පත් කර තිබේ.

රජයේ පාර්ශ්වකරුවකු ලෙස නොව, ජාතික වැදගත්කමක් ඇති සේවාවක් ලෙස සලකා සිවිල් සමාජ නායකයින් සමග නිස්සරණාධ්‍යාශයෙන් මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා කැප වන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අවධාරණය කළා ය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ආහාර සුරක්ෂිතතා අංශයේ ජනාධිපති අතිරේක ලේකම් චාන්දනී විජේවර්ධන, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්.එන් රණසිංහ, හිටපු අධ්‍යාපන ලේකම් වෛද්‍ය ටාරා ද මෙල් ද දැනට පාසල් දරුවන්ට දිවා ආහාරය ලබා දීමේ නියුතු අවායා සංවිධානයේ විජිත නානායක්කාර සහ මේ වන විට පාසල් සිසුන්ට ආහාර ලබා දෙන සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් ද මෙම රැස්වීමට සහභාගී වී සිටියේය.

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සඳහා වූ ජාතික ඒකාබද්ධ යාන්ත්‍රණය විසින් මෙම රැස්වීමේදී පහත ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීමට තීන්දු කර තිබේ.

 # කිරි, බිත්තර සහ එළවළු නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ක්‍රියාකාරී සැලසුම් කඩිනම් කිරීම.

# විදේශ ආධාර මත අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන දරුවන්ට දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන විධිමත් කිරීම.

# ආහාර සැපයීමේදී සිවිල් සංවිධානවල දායකත්වය පුළුල් ලෙස ලබා ගත හැකි ආකාරය.

රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ දරුවන්ට ප්‍රධාන කෑම වේල හෝ සපයා දිය නොහැකි තත්වයකට දෙමාපියන් පත්ව සිටින බව අනාවරණය කරන එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවක් මගින් උග්‍ර මන්දපෝෂණය අතින් දැනටමත් දකුණු ආසියා කලාපයේ ඉහළම ස්ථානයක ශ්‍රී ලංකාව රැදී සිටින බව පෙන්වා දී තිබිණ.

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදලේ (UNICEF) දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජෝර්ජ් ලැරියා-ඇඩ්ජේ පසුගියදා මෙරට සංචාරයක නිරතවීමෙන් පසු නිකුත් කළ වාර්තාවක් මගින් අනතුරු අඟවා ඇත්තේ ආර්ථික කම්පනය ශ්‍රී ලංකාව දිගින් දිගටම අවුල් කරද්දී, එහි වැඩිම මිල ගෙවන්නේ දුප්පත්ම හා වඩාත්ම අවදානමට ලක්විය හැකි ගැහැනු ළමයින් සහ පිරිමි ළමයින් බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න