Language Switcher

V2025

දේශගුණික විපර්යාස අධ්‍යයන විශිෂ්ටතා මධ්‍යස්ථානයක් වෙනුවෙන් : රුවන්ට යෝජනාවක් !

රජරට විශ්ව විද්‍යාලයට අනුබද්ධ “දේශගුණික විපර්යාස අධ්‍යයන විශිෂ්ටතා මධ්‍යස්ථානයක්” පිහිටුවීම සම්බන්ධයෙන් වූ ව්‍යාපෘති වාර්තාවක් එහි උපකුපතිවරයාගේ නියෝජිතයන් පිරිසක් විසින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදි බාර දුන්නේය.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා හමුවීමට පැමිණි රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ආර්.පි.අයි.ආර් ප්‍රසන්න මහතා ප්‍රමුඛ කණ්ඩායම පෙන්වා දුන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශගුණික විපර්යාස අධ්‍යයනය වෙනුවෙන් විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට ගෙන ඇති තීරණයට සමගාමීව මෙම මධ්‍යස්ථානය ද පිහිටුවිය හැකි බවයි.

ඔවුන් ඉදිරිපත් කළ ව්‍යාපෘති අධ්‍යයන වාර්තාවේ අන්තර් ගතය මෙසේය.

විෂය පථය:

දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රධාන ක්ෂේත්‍රවල පර්යේෂණ මෙන්ම දේශගුණික අනුවර්තනය සහ එම පීඩාවන් අවම කිරීම වැනි කළමනාකරණ අංග ඇතුළුව පර්යේෂණ පැවැත්වීමේ හැකියාව මෙම මධ්‍යස්ථානයට ඇත. අදාල පර්යේෂණයන් ක්ෂේත්‍රගත විවිධ නිපුණතාවයන් ගෙන් හෙබි විශේෂඥ කණ්ඩායමක් මගින් සිදු කරනු ලබයි. එම මධ්‍යස්ථානය විසින් වාර්ෂිකව සංවිධානය කිරීමට සැලසුම් කෙරෙන සම්මන්ත්‍රණය හරහා දේශගුණික විපර්යාස හා පර්යේෂණ සම්බන්ධ දැනුම ජනතාව අතර ව්‍යාප්ත කිරීමේ හැකියාව පවතී. තව ද මෙය කලාපීය සහ ජාතික ගැටළු සහ දේශගුණික විපර්යාස සම්බන්ධ ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කරනු ඇත. එමෙන්ම මෙම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව තුල තිරසාර සංවර්ධනයේ සියලු අංශයන් ඇතුලත් මූලික ප්‍රවාහය තුල දේශගුණික ක්‍රියාකාරී ප්‍රතිපත්ති මෙන්ම නීති රීති සම්පාදනයේ දී අදාල ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ආයතන සමඟ ද කටයුතු කරනු ඇත. තව ද දේශගුණික විපර්යාසයන්ට අනුවර්තනය වීම සහ එම තත්ත්වයන් අවම කිරීම සඳහා ක්‍රියාකාරී අයුරින් ප්‍රජාවට සහාය වනු ඇත. එමෙන්ම මෙම මධ්‍යස්ථානයේ ක්‍රියාකාරකම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සමඟ බද්ධ කිරීමට කටයුතු කෙරෙනු ඇති අතරම, විවිධ තලයන් ඔස්සේ සාමාන්‍ය ජනතාව වෙත සමීප කරවීමට ද කටයුතු කරනු ඇත.

යාන්ත්‍රණය:

මෙම මධ්‍යස්ථානය උපකුලපතිවරයා සහ උපකුලපතිවරයාගේ යම් බලතල පවරනු ලබන අධ්‍යක්ෂවරයකු හරහා විශ්වවිද්‍යාල සභාව විසින් සෘජුවම පාලනය වන ඒකකයක් ලෙස ස්ථාපිත කෙරේ.

අපේක්ෂිත ප්‍රතිඵල:

අපේක්‍ෂිත ප්‍රතිඵල වන්නේ අභියෝගවලට ජනතාව සතු සූදානම ඉහළ නැංවීම සහ විදෙස් ආදායම් උත්පාදනය තීව්‍ර කිරීම හරහා ජාතික ආර්ථිකය සවිමත් කිරීමත්, බලපෑමට ලක් වූ ජනතා ජීවනෝපාය මාර්ග ඉහළ නැංවීමත් ය. අනෙකුත් අපේක්ෂිත ප්‍රතිඵල අතර විධිමත් ජාතික ප්‍රතිපත්ති, ක්‍රියාකාරකම් හා සම්බන්ධ නීති රීති මෙන්ම පර්යේෂණ හා ප්‍රතිඵල ඉදිරිපත් කිරීමටත්, ගැටලු සහ පිළියම් සාකච්ඡා කිරීමටත් යෝග්‍ය භූමිකාවක් වශයෙන් පාර්ශ්වකරුවන්ගේ වාර්ෂික සම්මේලනය සඳහා සංසදයක් පිහිටුවීම ඇතුළත් වේ.

නියමු ප්‍රදේශය:

නියඟයෙන් දැඩි ලෙස පීඩාවට පත් වන සහ දේශගුණික අවදානම් වලට වැඩි වශයෙන් මුහුණපාන, ග්‍රාමීය ගොවි ප්‍රජාව ජීවත් වන වියළි කලාපීය කෘෂි පාරිසරික කලාපය මූලික අදියරෙහි නියමු ප්‍රදේශය වශයෙන් තෝරා ගැනේ.

මෙම අවස්ථාවට රජරට විශ්ව විද්‍යාලයේ ආචාර්ය ජේ.එම්.බී.එස් ජයසුන්දර, ආචාර්ය එච්.ඕ විජේවර්ධන, ආචාර්ය ජී.එන් චන්ද්‍රසිරි, ඩී.වයි.එස්.ආර්.ආර්. මුදලිගේ, එච්.එච් චමින්ද ලංකා යන මහත්ම මහත්මීන් සහභාගී විය.

IMG 20221109 WA0004