Language Switcher

V2025

ආශාවරී පොඩ්ඩියෝ පස්සේ පන්නන : නිලධාරීන්ගේ ‘ලැජ්ජා නැති’ වැඩ !

පුංචි කෙලි පැටික්කියෝ ටිකක් එකතු කරගෙන නාලක ජයලත් සර් හැදූ සංගීත කණ්ඩායමට තහංචියක් වැටිලා. ඒ පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තු නීතිය පැත්තෙන්. මේ නීතියට අනුව දැන් මැදිරිගිරිය ආශාවරී සංගීත කණ්ඩායමේ දැරියන්ට ප්‍රසිද්ධ වේදිකාවල ගී ගැයීම හා වාදනය තහනම්. අපි දන්නා විදිහට මැදිරිගිරිය කියන අතිදුෂ්කර පළාතේ දැරියෝ ටික මේ සංගීත කණ්ඩායම හදන්න අප්‍රමාණ වෙහෙසක් දැරුවා.

ඒකට ඔවුන් පිටුපස හිඳිමින් ලොකු අත්වැලක් සැපයූවේ ඒ දරුවන් හට පාසලේ ඉගැන්වීම් කටයුතු කරන නාලක සර්. නාලක ජයලත් සර්ට මේ අදහස ඇති වුණේ කාලයක් තිස්සේ තමන්ට හමුවන ඒ වගේ ම පාසලේදී සංගීතය කියන විෂයයට උනන්දුවක් දක්වන දරුවන්ගේ හැකියාව දැකලා. ඒ අනුව ඔහු මේ දරුවන්ව එකතු කර ගත්තේ තනියම නෙමෙයි. ඒ පුංචි දරුවන්ගේ මවුපියන්වත් හවුල් කරගෙන. මුල් කාලයේදී සර් තමයි දරුවන්ට කන්න බොන්න ටික විතරක් නෙමෙයි ගමන් වියදම්වලට අවශ්‍ය මුදල් හදල් පවා දුන්නේ. නාලක සර්ට අරමුණක් තිබුණා.

ඒ තමයි ලංකාවේ ම දරුවන්ට ආදර්ශයක් දෙන විධියට මේ වගේ සංගීත කණ්ඩායමක් නිර්මාණය කරන එක. ඒත් සර්ට මේ කණ්ඩායම හදද්දී තිබුණු මුල් ම අභියෝගය තමයි දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන විධියට හැමදේ ම කළමනාකරණය කරන එක. සර් දරුවන්ට මුලින්ම දීපු අවවාදයත් ඒකමයි. ඒ අවවාදය දෙන ගමන් සර් තමන්ගේ කාලයත් වැඩි කොටසක් මේ වෙනුවෙන් වැය කළා. සර් දරුවන්ගේ ආරක්ෂාව ගැන හිතලා ඒ හැම දරුවෙක් ම තමන්ගේ ගෙදරට ගෙන්වා ගත්තා. පුහුණුවීම් හැමදේ ම කළේ ඒ නිවසේ.

“සමහර දවස්වලට මට කෑමත් බීමත් හරි නින්දක් තිබුණේ නැහැ. මම දරුවෝ ලොකු තැනකට ගන්න ඒ විධියට වෙහෙසුණා.

තවමත් එහෙමයි. සංගීතය කියන්නේ හොඳින් ප්‍රගුණ කළ යුතු විෂයයක්. දැන් මම මේ දරුවන්ව පුහුණු කරන්නේ වාදන භාණ්ඩ හොඳින් හඳුනාගන්න සහ ඒවා නිවැරදි ස්වර ස්ථානවල පිහිටුවා වාදනය කරන්න. මුලදී තෝරා ගත්ත ගීත කීපයක් පමණක් හා ගායක ගායිකාවන් කීපපොළකගේ ගීත පුරුදු කළා. දැන් තමයි ප්‍රසිද්ධ වේදිකාවල ඕනෑ ම ගීතයකට සරිලන වාදන සහයක් දෙන්න පුළුවන් විධියට මේ දරුවන්ව පුහුණු කරන්න හිතුවේ.”

නාලක සර් මෙසේ කීවේ බොරැල්ල බෞද්ධ සංගම් ශාලාවේදී පැවැත්වූ සන්දර්ශනයක් අතරතුරේදීයි. එදා මේ ප්‍රසංගයට සහභාගි වූ ප්‍රවීණ ගායන ශිල්පි කීර්ති පැස්කුවල් මේ ළමා සංගීත කණ්ඩායමේ හැකියාව පිළිබඳ මහත් ඉහළින් කතා කළේ අපි ඉදිරිපිටදීමයි. ආශාවරි සංගීත කණ්ඩායමේ සාමාජිකත්වය දරන හැම දරුවෙක් ම හරිම පුංචියි. ඒත් දක්ෂතව ඉතා ඉහළයි. ඔවුන් ඒ දක්ෂතාව මෑතකදී රූපවාහිනි නාළිකාවලට පවා පැමිණ හොඳින් පෙන්නුවේ බලා සිටින හැමෝම මවිත කරමින්.

පාසලේ පාඩම් පොත්වල වැඩ කටයුතු හරියාකාරව කරන ගමන් තමන්ට උචිත සංගීත භාණ්ඩය හොඳින් වයන්න වගේම ගී ගයන්නත් පුරුදු වුණු මේ ආශාවරි සංගීත කණ්ඩායමේ පොඩ්ඩියෝ වැඩි දවසක් යන්න කලින් තමන්ගේ හැකියාව ප්‍රදර්ශනය කරමින් එළිමහන් සංගීත සන්දර්ශනවලටත් සහභාගි වුණා. එහෙම සහභාගි වෙලා ලංකාවේ අතිදක්ෂ ගායක ගායිකාවන්ගේ ගීතවලට සංගීත සැපයූවේ සුප්‍රසිද්ධ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි ලෙසටයි. මුලදි කිව්වා වගේ ම මැදිරිගිරිය කියන දුෂ්කර ගමට කොළඹ ඉඳලා කිලෝ මීටර් 230 පමණ තිබෙනවා.

පැය වශයෙන් ගත්තොත් පැය පහක් යන්න විතරක් ගතවෙනවා. ඊළඟට පළාතේ මිනිසුන්ගේ ආර්ථික තත්ත්වයත් ඉතා ම පහළ මට්ටමක තමයි තිබෙන්නේ. ඉතින් ඒ වගේ පළාතකින් බිහිවුණු දුගී දුප්පත් දරුවන්ගේ මහන්සියෙන් කරළියට ගෙනාපු මේ සංගීත කණ්ඩායමට කෙණෙහිලිකම් කරන එක මහ අපරාධයක්. අපි දන්න විධියට මේ දරුවන්ගේ අම්මලා, තාත්තලා මේ දරුවන්ගේ අනාගතය ගැන ලොකුවට හීන මවාගෙනයි ඉන්නේ. ඒ වගේ ම තමන්ගේ වාසනාවකට ලැබුණු නාලක සර් ගැන ලොකු විශ්වාසයකින් තමයි ඔවුන් මේ සඳහා දායකත්වය ලබාදී තිබෙන්නේ.

පුංචි දරුවොත් ලොකු හැඟීමකින් වගේ ම ආශාවකින් ‘ආශාවරි’ වටා සතුටින් එක්වී රොක් වී හිඳින්නේ ඒ දායකත්වය හා ආශීර්වාදය නිසයි. ආශාවරි සංගීත කණ්ඩායම මේ වෙද්දී ලංකාවේ ඕනෑම ගායක ගායිකාවක් වෙනුවෙන් නිවැරදිව සංගීතය සපයනවා. වේදිකාවට ගොඩවෙලා හපන්කම් දක්වන මේ පුංචි කෙලි පැටික්කියෝ දිහා සංගීත ලෝලීන් උදේ‍යාගයෙන් යුතුව බලා ඉන්නේ වෙනත් එළිමහන් ප්‍රසංග වේදිකා භූමිවල හැසිරෙන විධියට නෙවෙයි.

නරක වචන, නරක වැඩ කරන හිතකින් නෙවෙයි. ඒත් පසුගිය සතියේ දවසක මේ සංගීත කණ්ඩායමට එරෙහිව ද්වේශ සහගත විෂබීජයක් රෝපණය කරලා. දැන් එහි නරක ප්‍රතිචාර ඇතිවෙන්න පටන් අරන්. ඒ අනුව ළමා කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් මේ ආශාවරි සංගීත කණ්ඩායම සොයාගෙන මැදිරිගිරියට ගිහින්. එහෙම ගිහිල්ලා මින්මතු වේදිකාවට ගොඩ වී ගී ගැයීම හා වාදනය තහනම් කරලා. තවත් විධියකට කියනවා නම් වාරණයක් නිකුත් කරලා. මේ සිදුවීමත් එක්ක පුංචි කෙලි පැටික්කියෝ දැන් ඉන්නේ ඇඬු­ කඳුළින්. මේ කඳුළුවලට වගකියන්න ඕනෑ මිනිස්සු හිතන්නේ නැතිව ඇති වෙනත් වෙනත් විෂමාචාර ඉදිරියේ දරුවෝ කොයි තරම් විනාශ වෙනවා ද කියලා.

මාධ්‍ය ක්‍ෂේත්‍රයේ ඉන්න අපිට හැමදාමත් වගේ වාර්තා වන්නේ පුංචි දරුවෝ යොදාගෙන කරන නරක ම නරක දේවල්. දරුවන්ට කරන අපරාධ. ඒ විතරක් නෙවෙයි, අපේ රටේ මන්ද පෝෂණ තත්ත්වයත් එක්ක කන්න නැතිව දරුවෝ විඳින දුක. මේවා කිසි ම දෙයක් ගැන හිතන්නේ නැති නිසි විසඳුම් ලබා දෙන්නේ නැති වගකිවයුතු අංශවල ඉන්න මහ ලොකු නිලධාරීන් එහෙමත් නැත්නම් රටේ නීතිය ප්‍රසිද්ධියේ සින්දුවක් කියන, ඇඟ ඇතුළේ තියෙන දක්ෂතාව ඔපමට්ටම් කර ගනිමින් සංගීත භාණ්ඩයක් වයන දරුවෝ පස්සේ දුවනවා. ඇත්තටම මේක පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කළ යුතු අභාග්‍ය සම්පන්න තීරණයක්. දරුවන්ගේ දක්ෂතාවලට තැනත් නැති, නීතියක් ධර්මයක් මොකට ද? ළමා නීතිය ගැන හොයන නිලධාරීන්, එහෙම නැත්නම් නීතිය මේ වෙනුවෙන් නම්‍යශීලී විය යුතුයි.

අම්මලා, තාත්තලාගේ අනුදැනුම මත ඔවුන්ගේ දායකත්වය හා ආරක්ෂාව මත මේ දක්ෂතා එළිදැක්වීමට අවස්ථාව ලබාදෙන වැඩපිළිවෙළක් සැකසිය යුතුයි. ඇත්තටම මේ නීති රීති ගැන වැඩිදුරටත් කතා කළොත් අපිට වඩා ළමා අයිතිවාසිකම් හා ළමා බැල මෙහෙවරකම් ගැන කතා කරන ජාත්‍යන්තර නීතිය තුළ පවා දරුවන්ගේ දක්ෂතා එළිදක්වන්න අවස්ථාව සලසා දී තිබෙනවා. ඒක එහෙම නෙවෙයි කියන නිලධාරීන් අන්තර්ජාලය ටිකක් හරි පරිශීලනය කරන්න. අන්න එවිට ඔබට දැනගන්න, හඳුනාගන්න වගේ ම අහගන්න පුළුවන් වේවි දරුවෝ ඉන්න තැන. ඉස්සරහට යන දරුවන්ගේ කකුලෙන් අදින්න එපා. ඔබේ ආරක්ෂාව හා අවවාදයත් එක්ක තවත් පියවරක් ඉදිරියට යන්න උදවු කරන්න. අන්න එදාට අපේ රටේ අනාගතය මීට වඩා ලස්සන වේවි.

- මව්බිම