ඒකාබද්ධයේ ඊළඟ සුදානම : විපක්ෂ නායක ධූරය උදුරාගන්න

ඒකාබද්ධයේ ඊළඟ සුදානම : විපක්ෂ නායක ධූරය උදුරාගන්න

ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 70ක් විපක්ෂය නියෝජනය කරන බව දක්වමින් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක යන තනතුරු තම පාර්ශවයට ලබාදිය යිතු බවට යෝජනාවක් ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂය සුදානම් වන බව වාර්තා වෙයි.

අදාළ යෝජනාව පිළිනොගතහොත් ඊට එරෙහිව ගතහැකි ක්‍රියාමාර්ග අධ්‍යයනය කිරීම සඳහා ජී.එල්.පීරිස්, දිනේෂ් ගුණවර්ධන ඇතුළු කිහිපදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති අතර එතෙක් විපක්ෂනායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නොතකා හැර කටයුතු කිරීමටත් තීරණය වී ඇති බවද සඳහන් වෙයි.

දැනට පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නාය ධුරය දරනු ලබන්නේ ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්පන්දන් වන අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ය.

ආණ්ඩුව නියෝජනය කරන පක්ෂයට විපක්ෂනායක ධුරය ලබාදීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනියි - රාජිත

මේ සම්බන්ධව ඊයේ (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීද මාධ්‍යවේදීන් විමසා සිටි අතර ඊට ප්‍රතිචාර දක්වමින් කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න සඳහන් කර සිටියේ නිදහස් සන්ධානයේ සහ ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමක් විපක්ෂයේ අසුන් ගැනීම හෝ ඔවුන් විපක්ෂයේ බහුතරයවීම විපක්ෂනායක ධුරය ලැබීමට සුදුසුකමක් නොවන බවය.

සංකේතාත්මකව ඔවුන් විපක්ෂය නියෝජනය කළත් දේශපාලන පක්ෂයක් ලෙස ඔවුන්ගේ නායකත්වය හිමිව තිබෙන්නේ ජනාධිපතිවරයාට බවත් ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපතිවරයා වීම තුළ විපක්ෂනායක ධුරය එම පාර්ශවයට ලබාදීම පාර්ලිමේන්තු සම්ප්‍රදාය නොවන බවද අමාත්‍යවරයා පැවසීය.

එසේම ජාතික සමඟිය සහ සංහිඳියාව වෙනුවෙන් වෙහෙසෙන සමයක පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය දමිල නායකයකු දැරීම රටක් ලෙස සතුටු වියයුතු කරුණක් බවත් වත්මන් විපක්ෂනායකවරයා අවශ්‍ය තැන විරුද්ධත්වයක් අවශ්‍ය තැන සහයත් ආණ්ඩුවට ලබාදෙමින් ආදර්ශවත් විපක්ෂනයකයකුගේ භූමිකාව සිදුකරන බවද ඔහු පෙන්වා දුන්නේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න