මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ඉන්ධන කෝටාව දෙගුණ කෙරේ

මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ඉන්ධන කෝටාව දෙගුණ කෙරේ

වෘත්තීය මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 5ක්ව පැවති ඉන්ධන කෝටාව ලීටර් 10ක් දක්වා වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇත.

එහි පළමු අදියර ලෙස බස්නාහිර පළාතේ වෘත්තීය ත්‍රිරෝද රථ ලියාපදිංචිය නොවැම්බර් 01 වන දා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ වෘත්තීය ත්‍රිරෝද රථ සංගම් අතර ජනාධිපති කාර්යාලයේ දී අද (ඔක්. 24) පැවති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය වී ඇත.

ඒ අනුව, නොවැම්බර් 06 වන දා සිට බස්නාහිර පළාත තුළ සියලු ම මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සඳහා සතියකට ඉන්ධන ලීටර 10ක ප්‍රමාණයක් ලබා දීම සිදු කෙරේ.

දිවයිනේ අනෙකුත් පළාත් තුළ මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීම නොවැම්බර් 6 වන දා සිට 13 වන දා දක්වා සිදු කෙරෙන අතර, ඉන්පසුව එම ත්‍රිරෝද රථවලට ද නව ඉන්ධන කෝටාව ලබාදීමට සැලසුම් කර තිබේ.

දැනට ශ්‍රී ලංකාව තුළ ත්‍රිරෝද රථ දස ලක්ෂ අසූ දහසක් පවතින අතර, එයින් වෘත්තිමය මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලක්ෂ හතරක් පමණ පවතින බව ත්‍රිරෝද රථ සංගම් පවසයි.

මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලක්ෂ තුනක් පමණ මේ වන විට ශ්‍රී ලංකා පොලිසියේ ලියාපදිංචි කර තිබෙන අතර, නොවැම්බර් 13 වන දා වන විට සමස්ත දිවයින ම ආවරණය වන පරිදි මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලියාපදිංචිය සිදු කිරීමට නොහැකි වුවහොත් ආරම්භයක් වශයෙන් පොලිසියේ ලියාපදිංචි ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන කෝටාව නිකුත් කිරීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරුන් හා පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් කඩිනමින් දැනුවත් කිරීමට ද නියමිත ය.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිට තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න