කැබිනට් සංශෝධනය හෙට : ශ්‍රීලනිප ජෝන්ලා ඉබේම වාෂ්ප වෙයි !

කැබිනට් සංශෝධනය හෙට : ශ්‍රීලනිප ජෝන්ලා ඉබේම වාෂ්ප වෙයි !

ඊයේ (10) දිනයේ කැබිනට් අමාත්‍ය මණ්ඩල හමුවේදී ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණ අතර ඇතිවූ එකඟතාව මත කැබිනට් මණ්ඩල සංශෝධනය හෙට (12) දිනයේ සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඊයේ පැවති කැබිනට් අමාත්‍ය මණ්ඩල හමුවේදී කැබිනට් සංශෝධනය සම්බන්ධව වැඩි අවධානයක් යොමුවූ බවත් පසුගිය දිනවල පැවති දේශපාලන ආතතිය හේතුවෙන් රටේ බොහෝ කටයුතු අපේක්ෂිත ඉලක්ක කරා ගෙනයාම අතපසු වූ බවත් එහෙයින් කැබිනට් සංශෝධනය කඩිනම් කර අලුත් අවුරුද්දේ අලුත් ගමනක් යාම ආණ්ඩුවේ අපේක්ෂාව වී ඇති බවද එම ආරංචිමාර්ග පෙන්වා දෙයි.

ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුගෙන් තද කතාවක්

මේ අතර ඊයේ පැවති කැබිනට් අමාත්‍ය මණ්ඩල හමුවේදී එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු පවතින දේශපාලන අර්බුදය හමුවේ රට පත්ව ඇති අස්ථාවර තත්ත්වය පිළිබඳ දැඩි අදහස් දැක්වීමක් සිදුකර තිබෙන බවත් එහිදී රට අස්ථාවර කරන්නට ඉඩනොදෙන ලෙස අමාත්‍යවරයා ජනාධිපතිවරයාටද අවධාරණය කර ඇති බව වාර්තා වෙයි.

එළඹෙන 13 වනදාට පෙර කැබිනට් සංශෝධනය සිදුකර සම්මුති ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා පොරොන්දු වූයේ ඉන් අනතුරුව බවත් කෙසේ වුවත් එහිදී විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ලබාදුන් ශ්‍රීලනිප 16 කණ්ඩායම සම්බන්ධව ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් කිසිවක් සඳහන්ව නොමැති බවද දැනගන්නට ඇත.

ශ්‍රීලනිප 16 ඉබේම එලියට

මේ සම්බන්ධව අප කළ විමසුමකදී ආණ්ඩුවේ ප්‍රබලයකු සඳහන් කර සිටියේ ශ්‍රීලනිප 16 කණ්ඩායම මේ වන විටත් ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර ඇති බැවින් ඔවුන්ගේ අමාත්‍යධුර සියල්ල යෝජිත සංශෝධනය හමුවේ අහිමි කරන්නට තීරණය වී ඇති බවය.

ඊට අදාළ එක්සත් ජාතික පෙරමුණේ නිල නිවේදනය මේ වන විටත් ජනාධිපතිවරයාට දන්වා ඇති බවත් විශේෂයෙන් කැබිනට් අමාත්‍යධුර දරමින් ආණ්ඩුවට එරෙහිව ගෙනා විශ්වාසභංගයට සහයදුන් ශ්‍රීලනිප අමාත්‍යවරුන් 6 ට කොහෙත්ම කැබිනට් අමාත්‍යධුර පිරිනැමීමක් සිදුනොවන බවද ඔහු සඳහන් කරයි.

එසේම ඔවුන් නොමැතිවීම හේතුවෙන් පුරප්පාඩු වන කැබිනට් අමාත්‍යධුර 6 විශ්වාසභංග යෝජනා විවාදය වර්ජනය කළ ශ්‍රීලනිප පාර්ශවයට ලබාදීම සම්බන්ධව කිසිඳු ගැටළුවක් නොමැති බවත් එම පාර්ශවය තවදුරටත් ආණ්ඩුවේ රැඳීසිට සහය ලබාදීමට මේ වන විටත් තහවුරු කර ඇති බවද ඔහු පවසා සිටියේය.

තීන්දුව පැහැදිළි නිසා ශ්‍රීලනිප මධ්‍යම කාරකසභාව අද නෑ

අද (11) පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම අත්හිටුවා ඇති බවද වාර්තා වන අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ ශ්‍රීලනිප පාර්ශව දෙක සිය ස්ථාවරයේ වෙනසක් කිරීම ප්‍රතික්ෂේප කිරීම ඊට හේතුවී ඇති බවය.

මධ්‍යම කාරක සභාව පැවැත්වෙන නිශ්චිත දිනයක් මේ දක්වා තීරණය කර නොමැති බව එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක ද ප්‍රකාශ කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න