එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා පත්කළ කමිටුව අද (11) පස්වරුවේ අරලියගහ මන්දිරයේ රැස්වීමට නියමිත බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කරයි.
පසුගිය 08 වනදා පැවති රහස් ඡන්දයකින් සාමාජිකයන් 12 දෙනෙකුගෙන් සමන්විතව මෙම කමිටුව පත්කළ අතර ඊට පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස, උප නායක රවී කරුණානායක නිල බලයෙන් පත්වූ අතර එහි අනෙක් සාමාජිකයන් වන්නේ මංගල සමරවීර, අකිල විරාජ් කාරියවසම්,ගයන්ත කරුණාතිලක, නවීන් දිසානායක,රංජිත් මද්දුමබණ්ඩාර, හරීන් ප්‍රනාන්දු , රුවන් විජේවර්ධන, ඉරාන් වික්‍රමරත්න, අජිත් පී. පෙරේරා, ජේ.සී. අලවතුවල, නලීන් බණ්ඩාර සහ අශෝක ප්‍රියන්ත යන මැති ඇමතිවරුන්ගෙන් සමන්විත වෙයි.
එසේම එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය මේ මස 30 වනදාට පෙර පත් කිරීමට නියමිතව තිබේ.
අපේක්ෂා කළ ආකාරයට ප්‍රතිසංවිධානය නොවන බවට මැසිවිලි
කෙසේ වුවත් අපේක්ෂා කළ ආකාරයට පක්ෂ ප්‍රතිසංවිධානය සිදුනොවන බවට මේ වන විට එම පක්ෂයේ අභ්‍යන්තර කතාබහක් මතුව තිබෙන අතර පසුගියදා එක්සත් ජාතික පක්‍ෂයේ පූර්ණ ප‍්‍රතිසංවිධානයක් වෙතැයි පක්‍ෂයේ බහුතරයක් බලාපොරොත්තු වුවද එවැන්නක් සිදු නොවූ බව නියෝජ්‍ය ඇමති අශෝක් අබේසිංහ මාධ්‍ය හමුවේ චෝදනා කර සිටියේය.
පාක්‍ෂික ඉල්ලීමට පක්‍ෂ නායකත්වය කන් දෙන්නේ නැති නම් එජාපයට ඉදිරි ගමනක් නැති බවද ඔහු එහිදී සඳහන් කර සිටියේය.
එසේම තමන් පක්ෂ මහ ලේකම් ධුරයෙන් ඉවත්ව පක්ෂයේ අනෙක් නිලධාරීන්ට ආදර්ශයක් ලබාදුන් නමුත් එවැන්නක් සිදුවන බවක් පෙනෙන්නට නැති බව අමාත්‍ය කබීර් හෂීම්ද සඳහන් කර ඇත.
කෙසේ වුවත් පක්ෂ නායකත්වයේ කිසිඳු වෙනසක් මෙවර ප්‍රතිසංවිධානය හරහාද සිදුනොවන අතර අනෙක් තනතුරු සම්බන්ධ තීරණය ප්‍රතිසංවිධාන කමිටුව හමුවේ වන බව එජාප ආරංචිමාර්ග සඳහන් කරයි.

