මේ වන විටත් කණ්ඩායම් දෙකකට බෙදී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි දේශපාලන කටයුතු වලදී පක්ෂයක් ලෙස එක මතයක කටයුතු කිරීම ඉලක්ක කරගනිමින් සමඟිකර ශක්තිමත් කිරීම සඳහා වන යෝජනාවලියක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමේ සුදානමක් පවතින බව වාර්තා වෙයි.
දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ඊයේ (10) අමාත්‍ය මහින්ද අමරවීරගේ නිවසේ පැවති ශ්‍රීලනිප 23 පාර්ශවයේ හමුවේදී මේ බව සාකච්ඡා කර ඇති අතර ඒ බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම ද තහවුරු කර සිටියි.
අදාළ යෝජනාවලිය කඩිනමින් සකස්කර ඒ පිළිබඳ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර ඒ සඳහා 23 කණ්ඩායමේ මෙන්ම පක්ෂයේ ජේෂ්ඨයින් රැසකගේ අදහස් ගැනීමට අපේක්ෂා කරන බවද එම පාර්ශවය සඳහන් කරයි.
කැබිනට් වර්ජනය - ආණ්ඩුවෙන් ඉවත්වීමේ පළමු පියවර - ඩිලාන්
මේ අතර අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවට සහය පලකළ ශ්‍රීලනිප 16 කණ්ඩායම නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා සඳහන් කර සිටින්නේ ඊයේ (10) පැවති කැබිනට් අමාත්‍යමණ්ඩල හමුව වර්ජනය ආණ්ඩුවෙන් ඉවත්වීමේ පළමු පියවර වන බවය.
මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර එළඹෙන 19 වනදා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට තම පාර්ශවය කටයුතු කරන බවද ඔහු පවසා ඇත.
ශ්‍රීලනිප ජෝන්ලාට මහින්දගේ ආදරය
එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කර සිටින්නේ ආණ්ඩුවට එපා කියා එළියට දමන ශ්‍රීලනිප 16 කණ්ඩායම ආදරයෙන් පිළිගන්නට තමන් සුදානම් බවය.
ඔවුන්ට ආණ්ඩුවේ සිට ඊට එරෙහිව කටයුතු කරමින් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය දීමට තරම් කොන්දක් තිබීම ආඩම්බරයට කරුණක් බවද ඔහු සඳහන් කර ඇත.

