කැබිනට් සංශෝධනය : 'යන අය ගියාට පසුවයි' !

කැබිනට් සංශෝධනය : 'යන අය ගියාට පසුවයි' !

සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු කැබිනට් මණ්ඩල සංශෝධනයක් නියත වශයෙන්ම සිදුවන බවත්, මීළඟ කැබිනට් මණ්ඩල හමුවට ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටලු විසඳාගන්නා බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (10) ප්‍රකාශ කළේය. 

අමාත්‍යවරයා එබව සඳහන් කළේ, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

''කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් මට නිශ්චිත දිනයක් කියන්න බැහැ. ඉදිරියේදී නැකැත් තියෙනවා. අවුරුද්ද එනවා. අවුරුද්දෙන් පස්සේ කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවේවි” යැයි අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කීවේය.

 'ආණ්ඩුවෙන් යන අයට බාධාවක් නෑ'

 ආණ්ඩුවෙන් ඉවත් වීමට බලාපොරොත්තු වන ඕනෑම අයකුට ඊට කිසිදු බාධාවක් නැතැයි ද ඔහු එම මාධ්‍ය හමුවේදී අවධාරණය කර සිටියේය.

එක් කණ්ඩායමක් ලෙස ආණ්ඩුවේ රැඳි සිටීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය බව පැවැසූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා, කවුරුන් හෝ ආණ්ඩුවෙන් ඉවත් වීමට බලාපොරොත්තු වන්නේ නම් ඊට කිසිදු බාධාවක් නැතැයි ද පැවැසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සන්ධානයේ මහලේකම්වරයා මෙසේ ද කීය.

කැබිනට් වර්ජනයට හේතුව ?

“ඊයේ (09) රාත්‍රියේ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වුණා. කැබිනට් මණ්ඩලයට සහභාගී නොවන ලෙස ශ්‍රීලනිප අමාත්‍යවරුන් 16 දෙනකුට එන්න එපා කියලා තිබුණා. ඔවුන්ට අපහසුතා තිබුණා. ඔවුන්ට විවිධ අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් චෝදනා එල්ල කළා.

ඒ නිසා අද (10) පැවැති කැබිනට් හමුවට සහභාගී නොවන්න පක්ෂය ලෙස අපි තීරණයක් ගත්තා. අනාගතය සම්බන්ධයෙන් තීරණයක් නැවත හමුවෙන්නත් අපි එකඟතාවකට ආවා.

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඡන්දය භාවිත කිරීම නිසා තමයි මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ.

 බෙදෙන්න බලාපොරොත්තුවක් නැහැ:

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේ කණ්ඩායම ඉක්මනින් තීන්දුවක් ගන්නවා. බෙදෙන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. ඉවත් වෙන්නත් අපේ තීරණයක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි එක් කණ්ඩායමක් වශයෙන් කටයුතු කරනවා. අපිට යන්න කිසිදු අවශ්‍යතාවක් නැහැ. ජනාධිපතිවරයාත් පක්ෂයත් ඒ සඳහා තීන්දු තීරණ ගන්නවා.


කිසිවකුත් යවන්න අපිට අවශ්‍යතාවක් නැහැ. කවුරුන් හෝ ආණ්ඩුවෙන් යනවා නම් ඊට බාධාවක් නැහැ.

එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ලෙස කටයුතු කිරීම තමයි අපේ අරමුණ. තනතුරු ඇතිව හෝ නැතිව කණ්ඩායමක් විදියට කටයුතු කිරීම තමා අපේ ස්ථාවරය.

ranil my3 1000px 10 04 2018

''ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා අතර හෝ ආණ්ඩුවේ අර්බුදයක් තියෙනවා කියලා මම කියන්නේ නැහැ''

 ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා අතර හෝ ආණ්ඩුවේ අර්බුදයක් තියෙනවා කියලා මම කියන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් 16 දෙනාට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අපි අපේ අදහස කියන්න බලාපොරොත්තු වෙනවා.

වෙච්ච අඩුපාඩු, වැරැදි නිසා තමයි මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ. ඒ නිසා පැරැණි විදියට යන්න අපේ බලාපොරොත්තුවක් නැහැ.

ජාතික ආණ්ඩුව විදියට ඉදිරියට යනවා නම් වැරැදි හදාගෙන ඉදිරියට අපි ලෑස්තියි. ජාතික ආණ්ඩුවේ අනාගතය සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.

එකගමනක් යෑමට තමයි අපේ අපේක්ෂාව. ලබන කැබිනට් හමුවට පෙර මේ ප්‍රශ්න විසඳගන්න අපි බලාපොරොත්තු වෙනවා.

ඉවත් වෙන්න කිහිපදෙනෙක් ලිපි ඉදිරිපත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා.

ඉවත් වෙනවා නම් කණ්ඩායමක් විදියට ඉවත් වෙමු කියලා ඔවුන් යෝජනා කළා.

අපේ බලාපොරොත්තුව කණ්ඩායමක් විදියට රැඳී සිටීමයි. මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් නැහැ. ඒ නිසා ඉදිරියේදී සාකච්ඡා කර අවසන් තීන්දුවක් ගන්නවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න