සම්මුති ආණ්ඩුව රකින්න - කැබිනට් සංශෝධනයකට : ජනාධිපතිගෙන් සහතිකයක්

සම්මුති ආණ්ඩුව රකින්න - කැබිනට් සංශෝධනයකට : ජනාධිපතිගෙන් සහතිකයක්

සම්මුති ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව ශ්‍රීලනිප අමාත්‍යවරුන් නොමැතිව රැස්වූ පළමු කැබිනට් මණ්ඩල හමුව අද (10) පැවති අතර එහිදී කුමන බලවේග හමුවේ වුවත් සම්මුති ආණ්ඩුව ආරක්ෂා කරගෙන ඉදිරියට යන බවට ජනාධිපතිවරයා එජාපෙ අමාත්‍යවරුන් හමුවේ සහතික වූ බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

 

එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට මෙම කැබිනට් හමුවට පෙර ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ හමුවක්ද  තිබී ඇති අතර එහිදීද ජනාධිපතිවරයා සම්මුති ආණ්ඩුව අඛණ්ඩව පවත්වාගෙන යාමට අග්‍රාමාත්‍යවරයාට සහතික වී ඇත. 

කැබිනට් හමුවට පෙර ජනපති - අගමැති හමුවක් !

 

දෙදෙනා අතර එහිදී සාකච්ඡා වූ වැඩිදුර තොරතුරු වාර්තා නොවුවත් කැබිනට් හමුවේදී එළඹෙන අලුත් අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනය සිදුකිරීමටද ජනාධිපතිවරයා එජාපෙ අමාත්‍යවරුන් හමුවේ එකඟතාව පළකර තිබෙන බවද එම ආරංචිමාර්ග තහවුරු කර සිටියි.

 

ආණ්ඩුව රකින බව කීවත් ශ්‍රීලනිප ජෝන්ලා 16 ගැන සඳහනක් නෑ 

 

කෙසේ වුවත් මෙහිදී ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය පලකළ 16 දෙනා සම්බන්ධව හෝ එහි සිටින කැබිනට් සාමාජිකයන් සම්බන්ධව කිසිඳු සඳහනක් සිදුකර නොමැති බවද වාර්තා වෙයි. 

 

කැබිනට් සංශෝධනය අලුත් අවුරුද්දට පසුව - ශ්‍රීලනිප ආරංචිමාර්ග 

 

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර  ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ යෝජිත කැබිනට් සංශෝධනය අලුත් අවුරුද්දට පෙර සිදුවීමට ඇත්තේ අඩු ඉඩක් බවයි. ඊට හේතු ලෙස එම ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ මේ වන විට ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න සම්බන්ධව පක්ෂය තීරණයක් ගෙන නොතිබීම සහ ශ්‍රීලනිපය නියෝජනය කරන අමාත්‍ය කණ්ඩායමේද අමාත්‍යංශ විෂය වෙනස් වීමක් සිදුවීමට නියමිතව තිබීමය.

 

ජනාධිපති 15 වනදා බ්‍රිතාන්‍යයේ 

 

එසේම ශ්‍රීලනිපය ආණ්ඩුවේ ඉන්නවාද නැද්ද යන්න හෙට දිනයේ පැවැත්වීමට නියමිත බව කියන විශේෂ මධ්‍යම කාරකසභා අවස්ථාවේ තීන්දු කිරීමට නියමිත බවත් ඒ අනුව  යෝජිත කැබිනට් සංශෝධනය සිදුකිරීමට දින දෙකක කාලය ප්‍රමාණවත් නොවන බවත් එම ආරංචිමාර්ග පෙන්වා දෙයි.

 

 අනෙක් අතට ජනාධිපතිවරයා අප්‍රේල් 15 වනදා බ්‍රිතාන්‍යයේ  පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල රටවල නායකහමුව වෙත යාමට නියමිත බවත් ඒ අනුව කැබිනට් සංශෝධනය අලුත් අවුරුද්දෙන් පසුව සිදුකිරීමට වැඩි ඉඩක් ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි. 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න