අලි "පොවන" විට "අත" කරන වැඩේ ? : රවී හෙළිකරයි

අලි "පොවන" විට "අත" කරන වැඩේ ? : රවී හෙළිකරයි

එක්සත් ජාතික පක්ෂයෙ ඇමැතිවරුන්   සිය   අමාත්‍යාංශ වලින් රටේ ආර්ථිකය පොහොසත් කරනවිට,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු එම   ආදායම දොවමින් සිටින බව  හිටපු අමාත්‍ය,  පාර්ලිමේන්තු මන්ත්‍රී  රවී කරුණානායක  ප්‍රකාශ කරයි.

 මන්ත්‍රීවරයා මේබව කියා සිටියේ ඊයේ (09)පෙරවරුවේ කොළඹ  සුගතදාස  ක්‍රීඩා සංකීර්ණයේ සකස් කළ ජාත්‍යන්තර මට්ටමේ ,    කෘත්‍රීම  ධාවන පථය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි.

 එසේම ජනාධිපතිවරයා   සහ අගමැතිවරයා ගේ නායකත්වයෙන් පවතින සම්මුතිවාදී ආණ්ඩුව රට සංවර්ධනය කිරීම සඳහා ලැබුණු, සුදුසුම අවස්ථාව  වන බවත් මෙම සම්මුතිය  විපර්යාසයට ලක් වුව හොත්   ප්‍රජාතන්ත්‍රවාදය  අභියෝගයට ලක්විය හැකි බවත් හෙතෙම පැවසීය.

 එසේ උවහොත්,  වත්මන් පාලනය සම්බන්ධයෙන් ජනතාව තුල පවතින     විශ්වාසය  පළුදු විය හැකි  බවත්  තුවක්කුව,පිස්තෝලය හෝ පාතාලය    තුළින් රටේ  පාලනය මෙහෙය වන්නේ ද? යන්න ජනතාව ප්‍රශ්න කරනු ඇති බවත් මාන්ත්රීවරයා කියා සිටියේ ය.

 මෙහිදී    වැඩි දුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක මන්ත්‍රීවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධව ගොඩනගාගත් සම්මුතිවාදී පාලනය අභියෝගයට ලක්නොවන ආකාරයෙන් පවත්වාගෙන යාම සියළු දෙනාගේ වගවීම විය යුතු බවය.

 එසේම " අද මේ වැය කරන්නෙ රටේ මුදල්, රටේ මුදල් කියන්නෙ ජනතාවගේ මුදල්, මම මුදල් ඇමැති කාලෙ දයාසිරි ජයසේකර ඇමැති තුමාගේ ඉල්ලීමකට අනුව මේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා විශාල මුදලක් වෙන්කලා.

 දයාසිරි ඇමැති තුමා, ඒ මුදල් වලට සාධාරණය, ඉටුකර තියෙනවා. අනෙකුත් අමාත්‍යාංශ වලත් මේ වගේ වැඩ සිද්ධ වෙනවනම් මේ රට ගොඩ නගන එක අපහසු නැහැ. 

 අද නාස්තිය දූෂණය ඉහළ ගිහින් තියෙන්නෙ. ආණ්ඩු වෙනස් වුනත්, දූෂණයට සම්බන්ධ සුළුතර නිලධාරීන් වෙනස් වෙලා නැහැ. මේ රට හදන්න,  පුලුවන්   හරි දැක්මක් යටතේ වැඩකිරීමෙන්, අද වැඩ කරන අයට තමා,  චෝදනා කරන්නෙ, දැන් එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංසන්දනය කලොත් කොටස් දෙකක්. එක පැත්තකින් පොවනව,අනිත් පැත්තෙන් දොවනවා. එක්සත්ජාතික පක්ෂයේ ඇමැති වරුන්ට තියෙන්නෙ පොවන අමාත්‍යාංශ, මුදල්, විදේශ කටයුතු වගේ අමාරුවෙන් කර ගෙන යන අමාත්‍යාංශ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියෙන්නෙ දොවන අමාත්‍යාංශ, SAMURDHI, කම්කරු, ක්‍රීඩා වගේ අමාත්‍යාංශ. එක්සත්ජාතික පක්ෂය පොවනව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දොවනවා. ජනතාවට ප්‍රතිලාභ දෙන්න පුළුවන් අමාත්‍යාංශ ටික තියෙන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැති වරු ළඟ. දැන් විශ්වාස භංග යේදී , දායාසිරි ඇමැති තුමා එක මතයක හිටියෙ, ෆවුසි ඇමැති තුමා තවත් මතයක හිටියෙ.මේක නෙමේ අවශ්‍ය මගේ අදහස් වලට විශ්වාස භංග අවශ්‍ය නැහැ , නමුත් මේක නෙමේ අවශ්‍ය වන්නෙ, නමුත් ජනතාව තුලින් තමා විශ්වාසය ගේන්න අවශ්‍ය වන්නෙ " යැයිද රවී කරුණානායක මන්ත්‍රීවරයා  වැඩිදුරටත් කීය.

 මෙම අවස්ථාව ට, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර හා රාජ්‍ය අමාත්‍ය A.H.M ෆවුසි  ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න