Language Switcher

V2025

පාපන්දුවට අතුරු කමිටුවක් : අභියාචනාධිකරණයේ එකඟතාවක් !

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සඳහා නිලවරණය පැවැත්වීමට හැකි වන පරිදි කරුණු ඇතුළත් කර සංශෝධිත ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සහ නිලවරණය පවත්වන දිනය අධිකරණයට දැනුම් දීමට ක්‍රීඩා අමාත්‍යාංශය අභියාචනාධිකරණය හමුවේ ඊයේ (04) එකඟතාවය පළ කර ඇත.

එසේම පාපන්දු සම්මේලනය කළමනාකරණය කිරීම සඳහා "කළමණාකරන කමිටුවක්" පිහිටු වීමට අමාත්‍යංශය එහිදී එකඟව තිබේ.

මෙම එකඟතා පළවුයේ පාපන්දු සම්මේලනයේ නිල කාලය දීර්ඝ කිරීමේ තීරණය අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් බලරහිත කරන ලෙස ඉල්ලා සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් සහ ලේකම් උපාලි හේවගේ විසින් ගොනුකළ රිට් පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

එහිදී පෙත්සම්කාර පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා හා ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ එරාජ් ද සිල්වා හා වග උත්තරකාර ක්‍රීඩා අමාත්‍යවරයා සහ අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන පෙනී සිටි අතර කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එකඟතාවට පැමිණ ඇත.

ඒ අනුව පාපන්දු සම්මේලනය සම්බන්ධයෙන් දැනට නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය නිලවරණය පැවැත්වීමට හැකි වන පරිදි සංශෝධනය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය අධිකරණය හමුවේ එකඟතාවය පළ කළේය. නිලවරණය පවත්වන දිනය ඊළඟ නඩු දිනයට පෙර අධිකරණයට දැනුම් දීමට ද එකඟතාවයක් ඇතිව තිබේ.

පාපන්දු සම්මේලනය කළමනාකරණය කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ හෝ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරයකුගේ සභාපතිත්වයෙන් යුතු කළමණාකරන කමිටුවක් පිහිටුවීමට එකඟතාවය ඇති වූ අතර එම කළමනාකාර කමිටුවේ සෙසු සාමාජිකයන් අතරින් දෙදෙනකු ක්‍රීඩා විෂය භාර අමාත්‍යවරයා විසින් පත් කෙරෙන අතර, තවත් දෙදෙනෙකු පෙත්සම්කාර පාර්ශ්වයෙන් පත් කිරීමට නියමිතය.

කළමනාකරණ කටයුතු හා මූල්‍ය කටයුතු යෝජිත කළමනාකරණ කමිටුව විසින් මෙහෙයවන අතර, වියදම් සම්බන්ධයෙන් අනුමත කර ගැනීම් සිදුකරන්නේ නම් කළමනාකරණ කමිටුවේ අනුමැතියට යටත්ව එය සිදු කළ යුතු බවටත් දෙපාර්ශ්වය එකඟ විය.

පෙත්සම යළි ඔක්තෝම්බර් මස 11 වනදා කැඳවීමට නියම කළ අභියාචනාධිකරණය එදින මේ කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් දෙපාර්ශ්වයට නියෝග කළේය.

''ක්‍රීඩා අමාත්‍යතුමාට ස්තූතිවන්ත වෙනවා'' - පාපන්දු සභාපති ජස්වර් උමාර්

අධිකරණ තීන්දුවෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සභාපති ජස්වර් උමාර් මෙසේ පැවසිය.

''අභියාචනාධිකරණයේදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස මමත්, ලේකම් උපාලි හේවගේ විසින් ඉදිරිපත් කරපු පැමිණිල්ල විභාගයට ගත්තා. ඒ පෙත්සම සලකා බලපු අධිකරණය ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජිතයකු සහ නීතිපති සමග සාකච්ඡා කොට මේ ගැටලුව කඩිනමින් විසඳාගැනීම සඳහා එකඟතාවකට පැමිණෙන ලෙස දැනුම් දුන්නා.

මේ වන විට අපගේ නිල කාලය අවලංගු කිරීම සඳහා නිකුත් කරපු නිවේදනය සංශෝධනය කිරීම, දෙවනුව මෙම නඩුව තව සතියක් තුල නැවත කැඳවා නිලවරණය සඳහා දිනයක් නියම කිරීම, තුන්වනුව කළමණාකරන කමිටුවක් කිරීම , ඒ කමිටුවට ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අභියාචනාධිකරණයේ විශ්‍රාමික විනිසුරු වරයෙක් යටතේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ 2021 නිලවරණයෙන් පත්ව වූ සභාපතිවරයා වන මම , ඒ වගේම එම නිලවරණයෙන් පත්වූ භාණ්ඩාගාරික ඒ.එෆ් සෙලර් මහතාත් මෙම කමිටුවට ඇතුලත්වනවා.

ඒ වගේම ගරු ක්‍රීඩා අමාත්‍යතුමාගේ නිර්දේශය මත ගණ්කාධිකාරිවරයකු පරිපාලන නිලධාරියකු මෙම කළමණාකරණ කමිටුවට ඇතුළත් වෙනවා .

ඒ නිසා මේ පංච පුද්ගල කමිටුව නිලවරණය තෙක් එදිනෙදා කටයුතු කිරීම සහ මූල්‍ය පරිපාලනය කටයුතු කිරීම සඳහා තමන්ගේ රාජකාරි කටයුතු කරනු ඇති.

ඒ වගේම නව ව්‍යවස්ථාව සතියක් තුළ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි කිරීමටත් අපි කටයුතු කරන්න එකඟතාවය පළ කරලා තියෙනවා.

'මම හිතනවා මේ වෙලාවේ ගරු ක්‍රීඩා අමාත්‍යතුමාට ස්තූතිවන්ත වෙන්න ඕනේ මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා යම්කිසි කාලයක් සහ අවස්ථාවක් ලබාදීම පිළිබඳව. ඒ වගේම ගරු අධිකරණයටත් අපි ස්තූතිවන්ත වෙන්න ඕනේ රට වෙනුවෙන් එහෙම නැත්නම් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ෆීෆා වෙනුවෙන් තහනමකට ලක්වීමට ඇති අවධානම පහකර ගන්න කාලෝචිත විදියට මේ කරපු ක්‍රියාමාර්ගය ගැන''

අපි ඉතාමත්ම සුබවාදීව සියලු දෙනා එක්ව මේ ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් නිරාකරණය කර කඩිමින් නිලවරණයක් පැවැත්වීමට අපි සියලු කටයුතු කරනවා කියලා කියන්න ම කැමතියි''