තවත් සිසුන් ලක්ෂ 10 කට දිවා ආහාරය : ජනපති යෝජනාවට කැබිනට් අනුමැතිය !

තවත් සිසුන් ලක්ෂ 10 කට දිවා ආහාරය : ජනපති යෝජනාවට කැබිනට් අනුමැතිය !

පාසල් දිවා ආහාර වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කරමින් තවත් සිසුන් ලක්ෂ 10කට පමණ සම්පූර්ණ පෝෂ්‍යදායී දිවා ආහාර වේලක් දීම වෙනුවෙන් අතිරේකව රුපියල් කෝටි 400ක මුදලක් වෙන් කිරීමට රජය තීරණය කර ඇත.

"කිසිදු පුරවැසියකු ආහාර නැතිකම නිසා කුසගින්නේ නොතැබිය යුතුය" යන මූලික අරමුණ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් වැඩසටහනක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ කැබිනට් යෝජනාව සඳහා මෙසේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

පාසල් දිවා ආහාර වැඩසටහන මේ වන විට රට පුරා පාසල් 7,926ක ක්‍රියාත්මක කෙරෙන අතර සිසුහු දසලක්ෂ අසූදහසක් (මිලියන 1.08ක්) ඉන් ප්‍රතිලාභ හිමි කර ගනිති.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කල අතර මෙයින් ප්‍රතිලාභ ලබන සමස්ත සිසුන් සංඛ්‍යාව විසි ලක්ෂ අසූදහසක් (මිලියන 2.08) බවත් පැවසීය.

දැනට ක්‍රියාත්මක වැඩසටහන සඳහා රුපියල් කෝටි 400ක් වැය කරන අතර මේ සිසුන් ලක්ෂ 10 සඳහාත් වැඩසටහන ව්‍යාපත් කිරීමට අතිරේකව තවත් රුපියල් කෝටි 400ක් මේ අනුව වෙන් කෙරෙනු ඇත. ඒ අනුව සමස්ත වැඩසටහන සඳහා රුපියල් කෝටි 800ක මුදලක් වැය වෙයි.

මෙමඟින් සමස්ත සිසුන්ගෙන් සියයට 51ක පමණ පිරිසකගේ ආහාර සුරක්ෂිතතාව ඇති වන බව පෙන්වා දුන් ඇමැතිවරයා විශේෂයෙන්ම ග්‍රාමීය පාසල් දරුවන්ගේ පෝෂණ මට්ටම රැක ගැනීමට මේ තුළින් හැකියාව ලැබෙන බව ද මේ වෙනුවෙන් යුනිසෙෆ්, ලෝක බැංකුව, චීන රජය සහ තවත් පෞද්ගලික සංවිධානවල ආධාර ලැබී තිබෙන බව ද සඳහන් කළේය.

මේ අතර ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීම වෙනුවෙන් "ආහාර ප්‍රතිපත්ති කමිටුව" පිහිටුවීමට රජය තීරණය කර තිබෙන අතර ඒ වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන බව ද ඇමැතිවරයා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න