Language Switcher

V2025

රනිල් - ජවිපෙ එකඟතාව ක් !

කතානායක මහින්ද යාපා අබේවර්ධන ගේ මවගේ මරණ ගෙදරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගි වෙලා. මාකඳුරේ ගෙදර තමයි දේහය තැම්පත් කරලා තියන්නේ. අවසන් කටයුතු තියන්නේ අද (11) හවස මාතරදී .

ජනාධිපති රනිල් මාකඳුරේ ගෙදරට යනකොටත් , රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ , පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක ඇතුළු පිරිසක් ඇවිත් ඉඳලා,

ඔය අතරේ තවත් කෙනෙක් ආවා. ඒ තමයි ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති .

හඳුන්නෙත්තිත් , ජනාධිපති ඇතුළු විශේෂ ප්‍රභූන් ඉන්න කාමරේට ආවා. ජනාධිපතිවත් හම්බුණා. හම්බෙලා කොහොමද කියලා අහපු, ගමන් හඳුන්නෙත්ති මතක් කළා, අතුරු අයවැය කතාව වෙලාවේ , ජනාධිපතිතුමා හඳුන්නෙත්තිව උපුටා දක්වමින් කරපු ප්‍රකාශය.

ඒ ප්‍රකාශයෙන් කියවුනේ , රජය කරන්න ඕන ප්‍රතිපත්ති සම්පාදනය විතරයි . රජය ව්‍යාපාර කටයුතු කරන්න ඕන නෑ කියලා .

හඳුන්නෙත්ති ජනාධිපතිට කිව්වේ, " අන්න ඔබතුමා පාර්ලිමේන්තුවේදී මගේ නම කියලා , ඒ ටිකේ මට මීඩියා වලින් ගැලවිල්ලක් නැතිවුණා, මාර අමාරුවක දැම්මේ "කියලා.

සුපුරුදු හිනාව දාලා , ජනාධිපතිතුමා ඊට පස්සේ හඳුන් එක්ක චැට් එක කකන්ටිනිව් කරලා.

එතනදි ජනාධිපති රනිල් කියලා තියෙනවා බිංගිරිය කේන්ද්‍ර කරගෙන කර්මාන්ත පුරයේ වැඩ අවසන් කරලා , ආයෝජකයන් කැඳවන වැඩේ ඉක්මන් කරනවා කියලා . ඒ වගේම ආයෝජකයන් ඉල්ලන්නේ අක්කර 1000 ට වැඩි ඉඩම්, ඒ ප්‍රමාණයට ඉඩම් තියෙන්නේ කුරුණෑගල සහ හම්බන්තොට විතරක් බවත් ජනාධිපති කියලා . ඒ වගේම තමයි ඉදිරි කාලයේ ඉක්මනින් හැදෙන්නේ බස්නාහිර සිට දකුණට ඇති කළාපය බවත් ජනාධිපති රනිල් කියලා .

ඔය වෙලාවේ හඳුන් ඇහුවලු ජනාධිපති ගෙන් දැන් සංචාරක කර්මාන්තය නංවන වැඩේ මොකද කියලා

ජනාධිපති උදාහරණ එක්කලු දුන්නේ . මුලින්ම අරගෙන තියෙන්නේ ගාල්ලේ කොටුවේ පොලිසිය . පොලිසිය වෙන තැනකට යොමුකරලා, ඒ තැන සංචාරක කර්මාන්තයේ වැඩකට ගන්න ඕන කියලා ජනාධිපති කියලා තියෙන්නේ .

ඒ වගේම තමයි , අනුරාධපුර දුම්රිය බංගලා ටික. සුද්දන්ගේ කාලේ හැදුවේ . මේවා සංචාරක කර්මාන්තයේ ආයෝජන වලට දීලා , ඉඩම් රෙන්ට් කරන්න පුළුවන් කියලා ජනාධිපති කිව්වලු.

ඒ විතරක් නෙවෙයි , කොටුවේ ජනාධිපති මන්දිරය තියෙන්නේ . ඒක ආර්ට් ගැලරියක් කරලා, සංචාරක ආකර්ශනය අදින අමුතුම වැඩක් දාන්න පුළුවන් තැනක් කියලා ජනාධිපති කියනකොට හඳුනුත් ඒක අනුමත කරලා . ඒ වගේම තමයි , නාවික හමුදා , ගුවන් හමුදා මූලස්ථානත් යුද හමුදා මූලස්ථානය තියෙන තැනට දාලා , පොලිස් මූලස්ථානය ගුවන් හමුදාවේ දැන් මූලස්ථානය තියෙන තැනට ගේන්නත්, කොළඹ කොටුවේ තියෙන ඓතිහාසික වටිනාකමක් ඇති ගොඩනැගිලි වෙනම සංචාරක ආකර්ශනය අදින කළාපයක් කරන්න ඕන කියලත් ජනාධිපති කිව්වලු.

ආරංචි විදිහට හඳුන් ඒකත් අනුමත කරලා.ඒ විතරක් නෙවෙයි , ජනාධිපති මන්දිරය ආර්ට් ගැලරියක් කරනවා නම්, රොස්මිඩ් බංගලාව වගේ , මුදල් ගෙවලා මිනිසුන්ට නවතින්න දෙන්නත්, ඒ හරහා තවදුරටත් ආදායම් උපයන්න පුළුවන් කියලාත් හඳුන්නෙත්ති යෝජනා කරලා.

සුනිල් හඳුන්නෙත්ති තවත් යෝජනාවක් කරමින් කිව්වලු, ගොඩක් නගරවල තියෙන තැපැල් කන්තෝරු ඉපැරැණි ගොඩනැගිලි වල විශාල ඉඩක් එක්ක තියෙන්නේ . නමුත් දැන් තැපෑල වැඩ කරන විදියට ඒ ගොඩනැගිලි හොඳ රෙපයාර් එකක් දීලා ගත්තොත් ඒවත් සංචාරක ආයෝජන වලට මරු කියලා. ඒ විතරක් නෙවෙයි , සමහර නගරවල තියෙන ටෙලිකොම් එකේ ගොඩනැගිලිත් එහෙමයි කියලා හඳුන් කියලා .

හඳුන්ගේ යෝජනා ගැන සිනාමුසුව පිළිගත්ත ජනාධිපති කිව්වලු, යෝජනා කරා වගේ නෙවෙයි , වැඩ කරනකොටත්, සේරටම විරුද්ධයි ගාන්නේ නැතුව සහය දෙන්න කියලා. විශේෂයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවට එක්වීම ජවිපෙ ලෙසත් ජාජබ ලෙසත් ප්‍රතික්ෂේප කිරීමත් මතක් කරලමලු ජනාධිපති එහෙම කිව්වේ. ඒ වෙලාවේ හඳුන් කිව්වලු, හරි හරි ඔබතුමන්ලා හොඳ දේවල් කරන්න , අපි සහය දෙන්නම් කියලා .

කොහොම හරි ඔය කතා අන්තිමේ , එතන හිටපු පොහොට්ටු මැති ඇමතිලත් කතා වුනාලු, " මාර වැඩක් නේ, ජනාධිපතිගේ යෝජනා වලට හඳුනා එකඟයි . හඳුනගේ යෝජනා වලට ජනාධිපති එකඟයි ", දැන් නම් ටිකක් කැරකැවිල්ලත් වගේ කියලා .

දේශපාලන වාර්තාකරු