Language Switcher

V2025

රට ගොඩනගන දෙවන අරගලය අරඹමු - ජනාධිපති රනිල්

පළමු අරගලය අවසන් අතර රට ගොඩනගන දෙවන අරගලය මෙතැන් සිට අරඹමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
 
ඒ සඳහා සියලු පක්ෂවලට කිසිදු බේදයකින් තොරව එක්වන ලෙස ආරාධනා කරන බව පැවසූ ජනාධිපතිවරයා ඒ තමන් වෙනුවෙන් නොව මතු පරපුර වෙනුවෙන් බලවත් රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙළ  සාර්ථක කර ගැනීමට බවත් කියා සිටියේය.
 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ අද (06) පස්වරුවේ කොළඹ  සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සරය අමතමිනි. 
 
ඉදිරි වසර 25ක කාලය තුළ ණය නැති බලගතු ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා ශක්තිමත් ප්‍රතිපත්ති රාමුවක් ඔස්සේ කටයුතු කළ යුතු බවත්, වසර පහෙන් පහට වෙනස් නොවන ශක්තිමත් ප්‍රතිපත්ති රාමුවක් සහිත  මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. 
 
‘එක්ව රට ගොඩනගමු’ යන්න මෙවර එක්සත් ජාතික පක්ෂ සංවත්සරයේ ප්‍රධාන තේමාව විය. 
 
මෙවර විශේෂත්වය වනුයේ රාජ්‍ය නායකත්වයක් සහිතව එක්සත් ජාතික පක්ෂය සංවත්සර උත්සවයක් පවත්වන‍්නේ වසර 28කට පසුව වීමයි.
 
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව පවත්වන පළමු සංවත්සරය මෙය වීමද විශේෂත්වයකි.
 
රට ගොඩනැගීම සඳහා සියලු දෙනා එක්වීම සංකේතවත් කරමින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හා නොකරන සියලු පක්ෂ නායකයන්ට පක්ෂ සංවත්සරයට සහභාගී‍වන ලෙස  විවෘත ආරාධනයක් කර තිබූ අතර, ඒ අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ සෙසු පක්ෂ නායකයෝ රැසක් සංවත්සර උළෙලට සහභාගී වූහ.
 
ඊ. පී. ඩී. පී. නායක ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්  පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, මුස්ලිම් කොංග්‍රසයේ නායක සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්, ජාතික මුස්ලිම් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි, සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමාර්, ජාතික කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එල්. එම්. අතාවුල්ලා ඇතුළු දේශපාලන නායකයෝ පිරිසක් සෙසු පක්ෂ නියෝජනය කරමින් සුගතදාස ක්‍රීඩාංගණයට පැමිණ සිටියහ. 
 
සමගි ජනබලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරිපත්ව රජයේ අමාත්‍යධූර ලබාගත් ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය  මනූෂ නානායක්කාර සංවත්සර උත්සවයට පැමිණ සිටියහ.
 
උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සියලුම පළාත් නියෝජනය කරමින් සුගතදාස ක්‍රීඩාංගණයට පැමිණි සියලු ජාතීන්ට අයත් ජනතාවගෙන් ක්‍රීඩාංගණය අතුරු සිදුරු රහිතව පිරී ගොස් තිබිණ. 
 
පක්ෂ නායක හා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සම්ප්‍රාප්තියත් සමඟ සංවත්සර උත්සවය අභිමානවත් අයුරින් ආරම්භ කෙරුණු අතර, පක්ෂයේ ආදීකර්තෘ මහාමාන්‍ය ඩී. එස්. සේනානායකගේ සිට ආදී නායකයන්ගේ පිළිරුවලට පුෂ්පෝපහාර දක්වමින් ගෞරවය පළ කිරීම ද සිදු විය. 
 
එක්සත් ජාතික පක්ෂ නිර්මාතෘ ඩී. එස්. සේනානායක ගේ පිළිරුවට පක්ෂ නායක ජනාධිපති පිළිරුවට පක්ෂ උපනායක නීතිඥ අකිල විරාජ් කාරියවසම් ද,  ජේ. ආර්. ජයවර්ධනගේ පිළිරුවට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර ද , ආර්. ප්‍රේමදාස ගේ පිළිරුවට පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ද,  ඩී.බී. විජේතුංග ගේ පිළිරුවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හිටපු අමාත්‍ය සාගල රත්නායක ද පුෂ්පෝපහාර දැක්වූහ.
 
පක්ෂයේ ආදි නායකයන්ට පුෂ්පෝපහාර දක්වන අවස්ථාවේ දී ජනතාව ද අසුන්වලින් නැගී සිටිමින් සිය ගෞරවාචාර පුදකරන අයුරු දැක ගත හැකි විය.  
 
ජාතික සමගියේ අගය විදහා පෙන්වමින් සිංහල හා දමිළ යන භාෂා ද්විත්වයෙන්ම ජාතික ගීය ගායනා කළ අතර පක්ෂයේ අභිමානය විදහා දැක්වෙන විඩියෝ දර්ශන පෙළක් ද එහිදී ප්‍රදර්ශනය කෙරිණි. දේශීය සංස්කෘතිය ඔප්නැංවෙන වාද්‍ය භාණ්ඩ සංදර්ශනයකින් සහ ගීතමය විශේෂාංගවලින් ද සංවත්සර උළෙල අලංකාරවත් විය.
 
හිටපු මුදල් අමාත්‍ය රොනි ද මෙල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සංවත්සරය වෙනුවෙන් සිය සුභාශිංසන එක් කළහ.
 
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර,  එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජාතික සංවිධායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, උපනායක අකිල විරාජ් කාරියවසම්, හිටපු  අමාත්‍යවරුන් වන  ජෝන් අමරතුංග, රවී කරුණානායක, නවීන් දිසානායක, දයා ගමගේ, ඩී. එම්. ස්වාමිනාදන් සහ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානානායක මෙම අවස්ථාවට එක්ව සිටියහ.‍