Language Switcher

V2025

පිළිකා ඖෂධ හිඟයක් : කොමිස් වෙනුවෙන් ඇතිකළ හිඟයක් දැයි සැකයක් !

Folinic acidවල සිට පියයුරු පිළිකා රෝගීන්ට ලබාදෙන ටැබ්සුමාබ් (tabsumab) එන්නතද ඇතුළත්ව පිළිකා රෝගීන් සදහා භාවිතා කරන ඖෂධ වර්ග 20 කට ආසන්න සංඛ්‍යාවක් නොමැති බවට දැනුම්දීම හේතුවෙන් රෝගීන් ඉමහත් පීඩාවට පත්ව ඇති බව වාර්තා වෙයි .

අදාළ ඖෂධ සිය ගබඩා ආශ්‍රිතව හිඟ හේතුවෙන් අඛණ්ඩව ප්‍රතිකාර කිරීමට නොහැකි බවත් , ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ පෞද්ගලික ෆාමසි හරහා ලබාගන්නට නිර්දේශ කරන බවත් පීඩාවටපත් රෝගීන් පවසයි .

වාර්තා වන ආකාරයට , කොළඹ සහ මහනුවර ජාතික රෝහල්, කරාපිටිය සහ යාපනය මහ රෝහල් සහ මහරගම අපේක්ෂා රෝහල ඇතුළු රෝහල් රැසක මෙකී ඖෂධ හිඟය සම්බන්ධයෙන් රෝගීන් දැනුවත් කර ඇත .

එසේම මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඖෂධ හිඟ බව රෝහල් ආශ්‍රිත ඖෂධ ගබඩා ආරංචිමාර්ගද තහවුරු කර ඇති බවත් දැනගන්නට ඇත .

පිළිකා රෝගීන්ට අඛණ්ඩව ප්‍රතිකාර කළයුතු වුවත් මෙම ඖෂධ හිගයෙන් රෝගී සත්කාර සේවා සම්පූර්ණයෙන්ම බිද වැටී ඇති බවත් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර සොයාබැලීමේදී දැනගන්නට ලැබුණේ , අදාළ ඖෂධ පරිත්‍යාග ලෙස ලැබුණොත් මිස, රෝගීන් වෙත රෝහල් හරහා ලබාදීමට නොහැකිව ඇති බවයි.

පිළිකා රෝගීන් 3000 ක් පමණ වර්ෂයකට ප්‍රතිකාර සදහා එක්වන බවත් මහරගම අපේක්ෂා රෝහලෙන් රෝගීන් 1000 ක් පමණ දෛනිකව නේවාසිකව සහ බාහිරව ප්‍රතිකාර ලබන බවත් සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

කෙසේ වුවත් වැඩිදුරටත් වාර්තා වන්නේ , අදාළ ඖෂධ හිඟය සම්බන්ධයෙන් නියමිත වේලාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශ දැනුවත් කර නොමැති බවය.

මේ ආකාරයට නියමිත වෙලාවට ඖෂධ හිඟය සම්බන්ධයෙන් දැනුවත් නොකිරීම හේතුවෙන් , කල්වේලා ඇතුව ඖෂධ සපයා ගැනීමට නොහැකි වන බවත් , එහිදී සිදුකිරීමට වන්නේ , නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව , අත්‍යවශ්‍ය ඖෂධ හදිසි මිලදී ගැනීම් වෙත යාමට බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

හදිසි මිලදී ගැනීම් වලදී සැපයුම්කරුවන් සඳහන් කරන මිල ගණන් වලට යාමට සිදුවන අතර , එහිදී අනවශ්‍ය මිල ඉහළ දැමීම් සහ කොමිස් මත මිල නියමවීමේ අවධානමක් ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ඒ අනුව සෞඛ්‍ය ක්ශේත්‍රයේ විශවිශේෂඥයන් පවසන්නේ නියමිත වේලාවට මතුවිය හැකි ඖෂධ හිඟතා සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කිරීම වැදගත් බවය.

එසේ නොවුණුහොත් ඖෂධ හිඟයක් පමණක් නොව , වැඩි මිලට ඖෂධ ගැනීමට සිදුවීම , හදිසි ඖෂධ මිලදී ගැනීම් වලදී අතයට ගනුදෙනු ඇතුළු විවිධ අක්‍රමිකතා ඇතිවිය හැකි බවත් ඔවුන් පවසයි .