චීන හිතවාදී අලුත් සන්ධානයක් !

චීන හිතවාදී අලුත් සන්ධානයක් !
පොදුජන පෙරමුණ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්ෂ 8 කණ්ඩායම එක්ව නව දේශපාලන සන්ධානයක් පිහිටුවීමට සූදානම් වෙයි.
 
මේ සම්බන්ධයෙන් ස්වාධීන පක්ෂ එකමුතුවේ පක්ෂ නායකයන්ගේ විශේෂ සාකච්ඡාවක් බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පවත්වා ඇති අතර එම සාකච්ඡාවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, මහාචාර්ය තිස්ස විතාරණ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ප්‍රධාන ලේකම් අසංක නවරත්න, විජය ධරණී ජාතික සභාවේ නායක පූජ්‍ය අතුරලියේ රතන හිමි, යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග හා සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත ඇතුළු  නායක මණ්ඩල සාමාජිකයන් එක්ව ඇත.
 
මෙහි සභාපති ධූරය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ වෙත ලබාදී ඇති බවත් දැනගන්නට ඇත.

ස්වාධීන පක්ෂ එකමුතුව විසින් ගොඩනැගීමට නියමිත මෙම සන්ධානය  2022 සැප්තැම්බර් 04 වැනිදා මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී ජනගත කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ දරුණු ආර්ථික අර්බුදය හමුවේ, ඊට විසඳුම් ගෙන ගෙනෙන්නට නියමිත ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වල ප්‍රතිවිරුද්ධ දේශපාලන සන්ධානය මෙසේ ගොඩනගා ඇති බවක් නිරීක්ෂණය වන බවයි. ඉස්සර වාමාංශිකයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මේ වන විට ජාතිවාදී කඳවුර තෝරාගෙන ඇති බවත්, සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂයද රාජපක්ෂ කඳවුර තුළ සිට මේ වන විට විකල්පයක් නොමැතිව ජාති- ජාතිකවාදී කඳවුරට සේන්දු ව ඇති බවත් ඔවුන් පවසයි.
 
එසේම මේ වන විට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටින චීන බල දේශපාලනයේ නියෝජිතයන් ලෙසත් ඇතැම් විචාරකයන් මෙම සන්ධානය හඳුන්වයි. ලෝක බල දේශපාලනය තුළ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලට එරෙහිව චීන - රුසියා නිල නොලත් ගිවිසුමක් ඇති බවත්, එහි දේශීය ඒජන්ත භූමිකාව මේ පාර්ශව වල දේශපාලන හැසිරීම විසින් පෙන්නුම් කරන බවත් ඔවුන් පවසයි.
 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න