Language Switcher

V2025

අහුවෙන්න එපා : ජාතිවාදීන් යළිත් කරලියේ !

බෙදුම්වාදයට අරමුදල් සහ වෙනත් ආකාරයෙන් උදව් කරනු ලබන සංවිධාන 6ක තහනම ඉවත් කරනු ලබන්නේ දෙමළ ඩයස්පෝරාවේ එකගතාවයක් ඇතිව බව ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසයි.

ඔහු මේ අදහස් පළකලේ අද (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ අවස්ථාවාදී ජාතිවාදී ආගම්වාදී තුරුම්පු හැමදාමත් මෙරට ජාතික සංහිඳියාව විනාශ කළ බවත් මේ මොහොතේ ද එහිම දිගුවක් ලෙස ඔවුන් ක්‍රියාත්මක වන බවක් පෙන්නුම් කරන බවයි.

ජනතාව ඉතිහාසයේ දරුණු  ආර්ථික අර්බුදයක ගිලීගොස් ඇති අවස්ථාවේ එයින් ජනතාව මුදා ගැනීමට සියලු පාර්ශ්ව එක්කර ගතයුතු මොහොතේ මෙකී අවස්ථාවාදී ප්‍රවණතාවන් සම්බන්ධයෙන් ජනතාව විමසිලිමත් වියයුතු බවත් දේශපාලන විචාරකයන් අවධාරණය කරයි.

එක් පසෙකින් ජාතිවාදී ආගම්වාදී මත ප්‍රචාරය කරමින් අනෙක් පසින් අර්බුදය විසඳීමට අත්‍යවශ්‍ය  ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ද අකුල් හෙළන මේ සුළුතරය නොතකා ඉදිරියට යාමට ආණ්ඩුව ක්‍රියාත්මක විය යුතු බවත් ඔවුන් පවසයි .

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් මෙසේද පවසයි .

" ජාතිවාදී ආගම්වාදී තුරුම්පු පටු දේශපාලන අවස්ථාවාදී බව හැර වෙනත් කිසිම දෙයක් ජනතාවට ලබාදී නෑ. ඔවුන් ආමන්ත්‍රණය කරන්නේ ජනතාවගේ හැඟීම් වලට . ඔවුන් පවතින්නේ හැඟීම් වලට ගිනි තබමින්. ඒ තුළ සමස්ත ජනතාව ලබන දෙයක් නෑ . උපරිම ප්‍රතිඵලය තමයි ලේ කඳුළු සහ දුක. ඒ වගේම කුසගින්න , දිළිදු බව සහ ගැතිකම. මේ වෙනකොටත් පාලකයන්  ඔවුන්ගේ පදයට නැටීමේ ආදීනව සමස්ථ ජනතාව භුක්ති විඳීමින් ඉන්නේ . තවදුරටත් මේ වලේ වැටෙන්න නරකයි . සියලු දෙනා මේ පසුගාමී මැදිහත්වීම පරාජය කරන්න ඕන .

ජාතිවාදී ආගම්වාදී තුරුම්පු කවදාවත් ජනතාවට ජයග්‍රහණ අත්පත් කරදී නෑ . එහෙම දෙයක් තියෙනවා නම් පෙන්වන්න. ඔවුන් ඉතිහාසය, ධීරවීර යුග ගැන සුරංගනා කතා කියනවා. හැබැයි ඒකෙන් එක වේලක් ජනතාව ජීවත් කරවීමට හැකියාවක් නෑ "