2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 44 වැනි වගන්තිය යටතේ, සමාගම් හයක් සහ ඒවායේ අධ්‍යක්ෂවරුන්ට අයත් සියලු ම දේපළ හා වෙනත් වත්කම් පැවරීම, විකිණීම හෝ වෙනත් ආකාරයකින් ගනුදෙනු කිරීම තහනම් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මුදල් ආයතන පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් අත්හිටුවීමේ නියෝග නිකුත් කර ඇත; එමෙන්ම, එම වත්කම් අත්හිටුවීමේ නියෝග කොළඹ මහා අධිකරණය විසින් තහවුරු කර දීර්ඝ කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනට වත්කම් අත්හිටුවීමේ නියෝග බලපැවැත්වෙන සමාගම් හයෙහි ලැයිස්තුව ප්‍රකාශයට පත්කර ඇත. ඒ, මතු දැක්වෙන පරිදි ය.
1.කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් (පුද්ගලික) සමාගම (Kasagala Green Plantation (Private) Limited)
2.සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (පුද්ගලික) සමාගම (Ceylon Green Life Plantation (Private) Limited)
3.සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ලිමිතේඩ් (Singhe Capital Investment Limited)
4 ප්‍රෝ ෂොප් ඇඩ්වර්ටයිසිං හෝල්ඩිංග්ස් (පුද්ගලික) සමාගම (Pro Shop Advertising Holdings (Private) Limited)
5. ඇතැන්ස් ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් සෙන්ටර් (පුද්ගලික) සමාගම (Athens International Education Centre (Private) Limited)
6. ඊයොන් ලංකා ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිල්ම් ප්‍රොඩක්ෂන් ඉන්ටර්නැෂනල් කම්පැනි (පුද්ගලික) සමාගම (Eyon Lanka Investment & Film Production International Company (Private) Limited)
නීති විරෝධී තැන්පතු ලබාගැනීම් සහ ක්‍රියාත්මක විමර්ශන
ඉහත සඳහන් සමාගම් අතරින් කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් සහ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් යන සමාගම් දෙක සම්බන්ධයෙන් මුදල් ව්‍යාපාර පනතේ 42වන වගන්තිය යටතේ වැඩිදුර විමර්ශන දැනට සිදුකරයි.
එමෙන්ම, සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්, ප්‍රෝ ෂොප් ඇඩ්වර්ටයිසිං හෝල්ඩිංග්ස්, ඇතැන්ස් ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් සෙන්ටර් සහ ඊයොන් ලංකා ඉන්වෙස්ට්මන්ට් යන සමාගම් හතර, මුදල් ව්‍යාපාර පනතේ දෙවන වගන්තියේ විධිවිධානවලට පටහැනිව මුදල් ව්‍යාපාර පවත්වාගෙන ගොස් ඇති බවට හෝ මහජන තැන්පතු ලබාගෙන ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව දැනටමත් තීරණය කර ඇත.
මීට අමතරව, ලැබී ඇති පැමිණිලි පදනම් කරගනිමින්, මුදල් ව්‍යාපාර පනතට පටහැනිව යම් පුද්ගලයින් හෝ ආයතන මුදල් ව්‍යාපාර පවත්වාගෙන යන්නේද නැතහොත් මහජන තැන්පතු ලබාගන්නේද යන්න තහවුරු කරගැනීම සඳහා මහ බැංකුව විසින් ආයතන සහ පුද්ගලයින් කිහිපදෙනකු සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරමින් පවතී.
නීතිමය අවසරය ලැබෙන්නේ කාට ද…?
1988 අංක 30 දරන බැංකු පනත හෝ මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍ර ලබා දෙන ලද, නැතහොත් එම පනත්වලින් විශේෂයෙන් නිදහස් කරන ලද ආයතනවලට පමණක් මහජනතාව ගෙන් තැන්පතු බාරගැනීමට නීතිමය අවසරය හිමිවේ.
එබැවින්, නීත්‍යානුකූල අවසර ලත් ආයතනවල පමණක් මුදල් තැන්පත් කරන ලෙසත්, එසේ නොකිරීමෙන් තමන් අමාරුවෙන් උපයාගත් මුදල් අහිමිවීමේ අවදානමක් පවතින බවත් මහ බැංකුව මහජනතාවට දැඩි ලෙස අවධාරණය කරයි. තව ද, යම් ආයතනයක් හෝ පුද්ගලයකු මුදල් ව්‍යාපාර පනතට පටහැනිව මහජන තැන්පතු බාරගන්නා බවට නිරීක්ෂණය වන්නේ නම්, ඒ පිළිබඳව මහ බැංකුව වෙත වාර්තා කරන ලෙස ද ඉල්ලා සිටී.
ජේ. මුණසිංහ
අදාළ නිවේදනය පහතින්

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
