අන්තරේ අනතුරු අඟවයි : පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව දැඩි කෙරෙයි !

අන්තරේ අනතුරු අඟවයි : පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව දැඩි කෙරෙයි !

හෙට සහ අනිද්දා (19-20) ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමට අදාළ තීරණාත්මක ජන්ද විමසීමක් පාර්ලිමේන්තුව තුළ පැවැත්වීමට නියමිත අතර ඊට සමගාමිව පාර්ලිමේන්තු සංකීර්ණය අවට ආරක්ෂාව තර කර ඇති බව වාර්තා වෙයි .

ඊට අනුව පාර්ලිමේන්තුවට පිවිසෙන සියලුම පිවිසුම් මාර්ග මාර්ග බාධක යොදා වසා දමා ඇත.

පාර්ලිමේන්තුව හෙට (19) පෙරවරු 10.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිත අතර රට තුළ පවතින දේශපාලන අර්බුදය හේතුවෙන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත් කිරීම සඳහා නාමයෝජනා කැඳවීම හෙට සිදුකිරීමට නියමිතය.

ඊට අදාළ ඡන්ද විමසීම අනිද්දා (20) පාර්ලිමේන්තුවේදී රහස් ඡන්දයක් ලෙස පැවැත්වීමටද නියමිතය.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කිරීම සඳහා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මැතිවරණයට ඉදිරිපත් වන බව දැනටමත් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව හෙට ඔවුන්ගේ නාමයෝජනා පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදීමට නියමිත අතර ඉන් අනතුරුව ඔහු එය පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කිරීමට නියමිතය.

ඡන්ද විමසීම පැවැත්වෙන දිනයේ ඡන්දය ප්‍රකාශ කරන මන්ත්‍රීවරුන්ගේ ඡන්දවලින් සියයට 50කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා අපේක්ෂකයා නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්කර ගැනීමට නියමිත ය.

පාර්ලිමේන්තුවේ සෑම දේශපාලන පක්‍ෂයක්ම තමන් සහය දෙන අපේක්ෂකයා මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති අතර ශ්‍රීලනිපය ඡන්දය දීමෙන් වැළකී සිටින බව පවසා ඇත.

පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දය නව ජනාධිපතිවරයා තෝරා ගැනීමට ප්‍රබල සාධකයක් බව පැවසේ.

වත්මන් පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තු ආසන 145ක් ඇති අතර සමගි ජන බලවේගයට (SJඹ්) පාර්ලිමේන්තු ආසන 54ක් ඇත.

ඉලංකෙයි තමිල් අරසු කච්චි (ඓඨැඛ්) ආසන 10, ජාතික ජනතා බලය (ණ්ඵ්ඵ්) ආසන 3, ඊළාම් ජනතා පක්ෂය සහ අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසයට ආසන 2 බැගින් හිමිව තිබේ.

මෙයට අමතරව තමිල් මක්කල් විදුදලෙප් පුලිකල් (ටීඑම්වීපී), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප), මුස්ලිම් ජාතික සන්ධානය, තමිල් මක්කල් තේසියා කුට්ටනි, අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසය, ජාතික කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජනබල පක්ෂය එක් ආසනය බැගින් හිමිකර ගෙන තිබේ.

අන්තරේ අනතුරු අඟවයි !

කෙසේ වුවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ධුරයෙන් ඉවත් වන්නැයි බල කරමින් ඉදිරි දින දෙක තුල බරපතළ ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ඒ අනුව ජූලි 19 වන දින විරෝධතා දිනයක් බවට ප්‍රකාශයට පත් කරන බවද එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ අවධාරණය කර ඇත .

“අද දිනයේ සිට තමනට ආසන්න නගරවලට පැමිණ විරෝධතා පවත්වන්නැයි ජනතාවගෙන් ඉල්ලනවා.හිටපු ජනාධිපතිවරයාද ධුරයෙන් ඉවත් කළ හැකි වූයේ රටම විරෝධතා භූමියක් බවට පත් වීම නිසායි.වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීම සඳහා වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන දැවැන්ත ක්‍රියාමාර්ග ගන්නවා.මෙම අරගලයද ජයග්‍රහණයෙන් අවසන් කිරීමට හැකියි.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න