රංජිත් මල්ලියාවඩු ලියූ “මගේ මර්යාදාව” ඔහු ගේ අටවෙනි කාව්‍ය සංග්‍රහය යි. කවියකු හැටියට ඔහු ගේ පරිණත භාවය පිළිබිඹු කරන මේ කවි සමුච්චය කවිය පිළිබඳ ව ඇති කවර මානයකින් විමසා බැලුව ද ජීවිතය නමැති මහා වෘක්ෂයෙහි අග්‍රතර කුසුම් සම්පත් ලෙස රසිකයන් ගේ චමත්කාරයට හේතු වනු දැනෙයි.

“මර්යාදාව” යනු සීමාවයි. බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන අන්දමට භික්ෂූන්ට අදාළ විනය කර්ම පිළිබඳ සීමා පැනවීම හෝ සිරිත් විරිත්වලට අනුගත වීම ද මෙයින් අදහස් කෙරෙයි.
මගේ මර්යාදාව මැයෙන් යුත් කවිය මෙසේය.
අකාල වදන් මාරුත
වෙසමුණි වරම් අරගෙන
ඇන ඔලොක්කම් භූ තැටි
ගටා රළ කුපිත වන විට
මුහුදකට තිබිය යුතුමය
වැලඳ ගන්නා වෙරළක්
කාල තුරඟුගෙ රෝෂය
වාරකන දිගු කළ විට
වලාලයකට ඉඩ නැති
දවස් පමණක් ශේෂ වූ
මුහුදකට තිබිය යුතුමය
අහක නොබලන වෙරළක්
පලා යන හැඟුම් මිරිකා
මග හරස් කර හිනැහෙන
පළමු සින්නක්කරය කටු ගා
යන්න එන්නැයි නොකියන
ඕ එවන් මර්යාදාව
දාන්තව හැරී එද්දිත්
අනිමිස ලෝචනය නොබිඳින
සිඳෙනු ඉඩ හැර රුවන් ආරක්
හිඳිනු හැකිය පවසන
මේ පුලින තලයම ඔබේ යැයි
වහස් බැල්මෙන් බැඳලන
වෙරළ යනු භූමිය සහ සයුර සලකුණු කරන සීමාවයි. මුහුදෙහි රළ කුපිත වන විට අහක නොබලන, වැලඳ ගන්නා වෙරළ මෙන් කුටුම්බ දිවියෙහි පුරුෂ පාර්ශ්වයෙන් නැගෙන කටුක වදන් ස්වර, රළු චර්යා හමුවේ සෙනෙහසම පුදන්නේ ඇයයි.
වෙරළ, මුහුද සහ ගොඩ බිම යන රූපක භාවිතයෙන් කවියා මිනිස් දිවියෙහි සනාතනික සත්‍යයක් අවලෝකනය කරයි.
“ ආකුල වදන් මාරුත
වෙසමුණි වරම් අරගෙන’’
කාව්‍යාරම්භය ගැටුමක නිමිත්තකි. කාව්‍යාවසානය නිවුණු ස්වරයකි.
“ මේ පුලින තලයම ඔබේ යැයි වහස් බැල්මෙන් බැඳලන ”
කවියා ගේ බස සංක්ෂිප්ත ය. රූපකය කාව්‍යයෙහි ජීවය යැයි බොරිස් පැස්ටර්නැක් කවියා කීය. මලිලියාවඩු ගේ කවියද රූපක භාවිතයෙන් ජීවය ලබයි. “ වදන් මාරුත” “ කාල තුරඟු ’’ “ පළමු සින්නක්කරය ” යනාදි රූපක කුළු ගන්වන අරුත් සමුදාය මනහර ය.
පුරාණෝක්ති භාවිතයෙන් සමකාලීන සමාජ සත්තාව ස්පර්ශ කිරීම ද කවියාගේ විශේෂත්වයකි. මණිකාර කුළුපගතිස්ස කතාංගය ත්‍රිපිටකයෙහි ඇතුළත්වන සුවිශේෂ නිර්මාණයකි. මැණික් ඔප දැමීම වෘත්තිය කරගත් අයෙකු වැරදි අවබෝධය නිසා භික්ෂුවකට වද දෙන අයුරින් සත්‍ය වටහා ගැනීමෙන් පසුව උන්වහන්සේ සමාව අයදින අයුරුත් එහි දැක්වෙයි.
වත්මන් ‘මණිකාර’ තක්සලාවෙන් පිටමන් කිරීම නිසා අඳුරු මැණික් පතල් වල “ මිණෙලි ” සොයන යෞවනයෙකි. කවිය මෙසේය
මිතුර මණිකාර
වැඩෙනු පෙර දැලි රවුළු
විවර කර පෑළ දොර
මිතුර තක්සලාවෙන් නික්ම ගිය
නික්මනට පෙර නැකැත් බැලුවෙද
මිණි දිව් මිණි පුරට
කවරකු පාර කීවෙද
ඉබාගාතේ ඇදුණෙද
පාත්තයෙකිය හඳුනා
වදන් කැට මුගුරින
නොතැනද පහර දුන්නෙද
සදාකාලික කැලැල් ඉතිරිද
රත්න විද්‍යා නොදත්තේ
කෙලෙසක පතල් බැස් සේ
මණිකාර වූයේ
සියක් දෘඩ් පාෂාණ අතරෙහි
දුටු මතින් මිණෙළි හඳුනන
නුවන් කවරෙකු දුන්නෙද
පුලින කැටයක් ව දැඩි දැඩි
ඇදුරු ඇස සිටි කැවි කැවි
මිතුර පසුපෙළ රද වුණු
අදත් මිණි දොරටු වැහිලද
මණිකාර කුළුපගතිස්ස කතාවෙහි කොස්වා ලිහිණියාට පා පහර දීම නිසා මියගියා සේ පාත්තයෙක් යැයි නින්දා කර වදන් කැට මුගුරින් ගුරුවරයා පහර දීම නිසා තක්සලා වෙන් නික්ම ගිය යෞවනයා නැවතුණේ පතලක ය. මැණික් කර්මාන්තය නොදැන වුව ද පතලට බසින්නට සිදු වූ යෞවනයා ගේ ඛේදය වදන් කැටියකට ගෙන ඇත්තේ මෙසේ ය.
“රත්න විද්‍යා නොදත්තේ
කෙලෙසක පතල් බැස්සෙ ද
මණිකාර වූයෙ ද”
රසික සිත්හි පහන් සංවේගය දැන්වීමේ ගුණය අතින් ප්‍රබල කවියකි.
මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කියුමක් උපුටා දක්වමි.
“හොඳ කාව්‍යයෙන් ලබන චමත්කාරය හැඳින්වීමට පහන් සංවේගය යන වහර අගනේය. පහන් යනු සිතෙහි පැහැදීමයි. පැහැදුණු සිත අංගුත්තර නිකායෙහි අමිල සූත්‍රයෙන් හඳුන්වන්නේ සිප්පි, හක්බෙල්ලන් හා කැටකැබලිද ඇසට හසු කරන පිරිසිදු නොකැළඹුණා වූ දිය ඇති විලක් ලෙසය. කාව්‍යයක සමුදයාර්ථය නොහොත් සාකල්‍ය අර්ථය සහෘදයාගේ සිත පහන් කරන්නේ හැගීම් පරිශෝධනයෙනි.” ( සිංහල විචාර මග - 142,143 පිටු )
එම අරුතින් බැලු කල මෙය ද පහන් සංවේගය දනවන කවකි.
මිතුර මණිකාර කාව්‍යාවසානය, අනවබෝධය සහ පහන් හැඟීමෙන් තොර වීම නිසා ගුරුවරුන් විසින් නිර්දය ලෙස පිටමන් කරන විද්‍යාර්ථින් පිළිබඳ සනාතනික සත්තාව පිළිබිඹු කරයි.
“ පුලින කැටයක්ව දැවි දැවි
ඇදුරු ඇස සිටි කැවි කැවි
මිතුර පසු පෙළ රද වුනු
අදත් මිණි දොරටු වැහිලද”
වැසුණු “ මිණි දොරටු ” යනු බහු අර්ථ නගන කාව්‍යෝක්තියකි.
මල්ලියාවඩු කවියා කවියෙහි ආකෘතික සීමාවල සිරවී නොසිටි නිදහස් කවියෙකි. එසේ හෙයින් සිව්පද ආකෘතිය ද ආරම්භයෙහි පටන් ඔහුගේ කවි මග අර්ථවත් කර ඇති අයුරු පෙනේ.
“ මෝචරියේ සඳ එළිය” මෙම කෘතියෙහි ඇතුළත් සුවිශේෂ නිර්මාණයකි.
කස්තිරම් සියල්ලම ඇල්ලුවේ දරුවනි
අස්ථිරය දිවිය දැනෙනා තැනක හිඳිමිනි
රැස් කෙරූ දේවලින් මල් පිපෙනු දකිමිනි
තොස් වෙන්න මිනිසකුට සිතුවොතින් පුලුවනි
ගෙදර පන්චෝදරම සැනසු පොඩි පඩිපතකි
සතර සමුදුරු ගමත රුවල දැරු කුඹ ගසකි
එතෙර කළ යුතු තැනදි හබලටද තැබූ අතකි
ඉසුර කිමකැයි කියන කියවන්න යුතු පොතකි
ඇස් පනා පිට දුටුව තුඟු සිතකි දුලන්නා
උස් නුස් මිනුම් දඬු ගැන සිතුම් නොවන්නා
හිස් තැනක් නොව දියත පිරුණ තැන් තිබෙන්නා
දොස්තරය දියණි එහි ඔහු මිනී කපන්නා
නිමාවේ වාට්ටුවෙ අවසාන සැරිසැරිය
පමාවේ උනන අද පැළඳි ධූරාවලිය
සැඳෑවේ බලන සඳ විවර කර කුරුබිලිය
වලාවේ දකින්නෙත් මෝචරියෙ සඳ එළිය
මිනී කපන්නකු වූ පියා උදර පහක් පෝෂණය කරමින් දියණිය වෛද්‍යවරියක බවට පත් කිරීම දක්වා ආ ගමන මේ කවියට ප්‍රස්තුත වෙයි.
වාට්ටුවේ අවසන් වරට ඇවිද යන වෛද්‍යවරිය කුරුබිලියෙන් අහස බලන විට ඇයට වලාකුළෙන් පෙනෙන්නේ මෝචරියේ සඳ එළිය යි.
“මෝචරියේ සඳ එළිය ’’ ප්‍රබල රූපකයකි.
පමාවේ උනන ඈ පැලඳි ධූරාවලිය පාදය බහුවිධ අරුත් දනවයි. ‘ පමා වේ උනන ’ යෙදුමෙන් හැඟෙන්නේ මෙම වෛද්‍යවරිය නියමිත කාලය ඉක්මවා සේවය කරන බවය. නිල ඇඳුම උනා දැමීම ධූරාවලිය උනා දැමීමක් ලෙස දක්වා ඇත. ඇගේ පියා මිනී කපන්නා ය. සමාජ ධූරාවලිය අනූව මිනී කපන්නා සහ වෛද්‍යවරිය අතර ඇති පරතරය විශාලය. එය උනා දැමූ විට ඇය මිනී කපන්නාගේ ඇත්ත දියණිය බවට පත්වෙයි.
‘කුරුබිලිය’ යන යෙදුම ද සුවිශේෂය. කුරුබිලිය යනු කුඩා කවුළුවකි. ඒ කුඩා කවුළුව ඇත්තේ පටු කාමරයක ය. සමහර විට එය වෛද්‍යවරිය ගේ නිල කුටිය විය හැකි ය.
කුරුබිලියෙන් පෙනෙන මෝචරියේ සඳඑළිය යනු කවියෙහි සමස්තාර්ථය කුළුගන්වන ප්‍රබල කාව්‍ය උක්තියකි.
‘කුසුමක් ස්වයං වන්දනයක’
මේ කවි සමූහයෙහි ඇතුළත් ප්‍රබල කවියකි.
ඉහළ ඉතිවල ඉඟිලන
කිසිදු අතකින් නොනෙළන
කුසුම්හුය අපමණ
හුදෙකලා තුරු ගොමුවල
එබඳු කුසුමකි මේ
අරමුණක් නැති සේය
මිදී නැටියෙන
නල වැලක යා වුණ
පතිත වී පසල් වන රොද
පිළිම හිමි සඳ පා අස
තවුස් සෙය්‍යාවෙන
දැහැන්ගත වී පසුවෙන
විස්මයකි ඒ දසුන’ සිරිය
උවසු අතකින මිස
ස්වයං වන්දනයක
යෙදුණු කුසුමක් නොදුටු මෙදි යත
උවසු අතක පහස නොලබන ඉහළ අත්තක පිපි කුසුමක් සුළඟේ දැවටී වන ගැබෙහි පිළිමයක් පාමුල ස්වයං වන්දනයක යෙදීම කවියා ගේ සියුම් නිරීක්ෂණයට හසුවෙයි. සූක්ෂ්මාත්මතාව සහිත කවියෙකුට සොබාදහමේ සියුම් තැන් කවියකට නිමිත්ත වෙයි.
මිනිස් පහස නොලබන සංසිද්ධීන්හි ද මිනිස් හදවත් සුමට කරවන ජීවන අනුභූතීන් පවතී.
මෙහි බසෙහි හික්මීම මනහරය.
‘නැටියෙන්’ නොයොදා නැටියෙන යෙදූ විට බසෙහි ලාලිත්‍යය ඔදවත් වෙයි. ගිරා සඳෙසෙහි කවක යෙදුම් සිහිපත් වෙයි.
සාමනේරයන් වහන්සේලා වන රොදෙහි බිම වැටුණු ලෙහෙන පැටවුන් අතට ගෙන පිරි මැද මල් ගොටුවෙන් පැන් පොවන බව දැක්වෙන කවෙහි ඇති “තුරු යටියෙන්, සිතු අටියෙන්, මල ගෙටියෙන්” යෙදුම් සිහිපත් වෙයි. සිව්පදයෙහි එළිසමය රැකෙන ලෙස ‘න්’ අකුර යොදා ඇත. මල්ලියාවඩු ගේ කවෙහි ඖචිත්‍ය ගුණය අනුව නැටියෙන් වෙනුවට ‘නැටියෙන’ යොදා තිබේ. බසෙහි රිද්මය සහ ධ්වනි ගුණය පිළිබඳ සැලකිලිමත් වීම කවියක සාර්ථකත්වයට හේතු වෙයි.
‘නො ආවාට කමක් නැත’ කවිය සොබා දහමේ විශිෂ්ට උරුමයක් වූ මහදම්පා ගඟ රක්ෂිතය මිනිස් ක්‍රියාකාරිත්වය නිසා වැනසී ඇති අයුරු පිළිබඳ චෝදනා පත්‍රයක් වනුයේ කවියා සෘජු ප්‍රකාශන ශෛලියෙන් බැහැරව කාව්‍යමය ගුණය ආරක්ෂා කෙරෙන භාවිතයකට යෑම නිසා ය.
එහි කාව්‍යාර්ථයක් දක්වමි.
‘නොගලවා සුදු කර පටි
රාත්‍රිය මැද මතුවෙන
සැප රියෙනි අත හැර යන
ගෝනි මලු කුයිල ඉවසන’
‘නොගලවා සුදු කරපටි ’ යනු උත්ප්‍රාසාත්මක යෙදුමකි. සුදු කරපටි සේවය ( White – Collar – Work ) යනු කාර්යාල පරිසරයක සිදු කරන පරිපාලනමය වෘත්තීන් ය.
පරිසරය ආරක්ෂා කිරීම විෂයෙහි බුද්ධිමය වගකීම අතින් හුදු කායික ක්‍රමය පමණක් වගුරන්නන්ට වඩා වගකීමක් ඔවුනට පවතී. එහෙත් පරිසරයෙහි මාරයන් වී ඇත්තේම ද ඔවුන්ම වීම ඉතිහාසයේ සරදමකි. එසේ නම් රජය විශාල වියදමක් දරමින් ඔවුන්ට ලබා දී ඇති අධ්‍යාපනය අර්ථවත් වී නොමැත.
කවර ආපදාවක් සිදු වුවද රක්ෂිතය තවමත් මිනිසුන් ජීවත් කරවීමට අවශ්‍ය පලු පල නිර්ලෝභීව ලබා දෙයි.
මජං තෙන් තෙල් කාඩි මළ මූ
ඉහඳ දියලුව මැද
කිරල වෙල් ආතා තුරුවල
අකාලෙත් පල ලඹ දෙන
මේ කෘතියෙහි ඇතුළත් බොහෝ කවි රංජිත් මල්ලියාවඩු කවියා ගේ දීර්ඝ වූ සාහිත්‍ය ගමනෙහි උත්කෘෂ්ට ඵල වැන්න.
“අම්මාගේ ඉතුරුම් ගිණුම ’’ගැමි දිවියෙහි මාතෘ භූමිකාවේ සැඟවුණු සංස්කෘතික ලක්ෂණ කැටපත් කරයි.

කවියා මහත් සීරුවෙන් තම අනන්‍යතාව ආරක්ෂා වන ලෙස තෝරා ගත් සියුම් කාව්‍යාවලියක් “මගේ මර්යාදාව” ඔස්සේ නූතන කාව්‍ය රසිකයන්ට ප්‍රදානය කර ඇත.

තිඹිරියාගම බණ්ඩාර
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
