කිසිවෙක් කුසගින්නේ තැබීම මගේ ප්‍රතිපත්තිය නෙවෙයි - අගමැති රනිල්

කිසිවෙක් කුසගින්නේ තැබීම මගේ ප්‍රතිපත්තිය නෙවෙයි - අගමැති රනිල්

ආහාර අර්බුදය හමුවේ කිසිවෙක් බඩගින්නේ නොතැබීම තමාගේ ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.

අද (17) ආහාර සුරක්ෂිතතතාවය පිළිබඳ වූ කමිටුව අගමැති කාර්යාලයේදී රැස්වු අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේ ඉදිරි කාලයේදි ලාංකීය ජනගහනයෙන් ලක්ෂ 40 ත් 50 ත් අතර පිරිසකට මෙම ආහාර අර්බුදය සෘජුව බලපෑ හැකි වුවත් එය පාලනය කර ගැනීමට අවශ්‍ය කටයුතු සකස් කරන බවයි.

මෙහිදි විශේෂයෙන්ම කුඩා දරුවන් සහ වැඩිහිටියන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන මෙන් අගමැතිවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

මෙම ආහාර අර්බුදයට සාර්ථකව මුහුණදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලෙසත්, එයට අමාත්‍ය නිමල් සිරිපාල , ආචාර්ය හර්ෂද සිල්වා සහ ජනාධිපති කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, යුද හමුදාව, පෞද්ගලික අංශය ඇතුළු අදාළ ආයතන වල නියෝජිතයින් ඊට එක් කරන ලෙසත් අගමැතිවරයා දන්වා සිටියේය. මෙම කමිටුව විසින් සකස් කරන ලද සැලසුම සති 02 ක් තුළ තමාට අවශ්‍ය බවත්, අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

ආහාර සුරක්ෂිතතා වැඩසටහන යටතේ දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 336 සංවර්ධනය කර ඉලක්ක කරා ගෙන යාමට නායකත්වය සැපයීම සඳහා කොට්ඨාස 225ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ඉතුරු කොටස අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ඉහළ නිලධාරීන්ටත්, පෞද්ගලික අංශයටත් බෙදා භාර දිය යුතු බව අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය. මේ සඳහා උපාධිධාරී පත්වීම් ලැබ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සිටින උපාධිධාරීන් ද එක් කර ගැනීමට යෝජනා විය.
ධීවර ප්‍රජාවට අවශ්‍ය ඉන්ධන, ගෑස් සහ කෘෂිකර්මාන්තයට අවශ්‍ය ඉන්ධන ලබා දීමට ප්‍රමුඛත්වය දෙන ලෙස අගමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

ආහාර සුරක්ෂිතතාවය යන කාරණයේදී විශේෂයෙන්ම ළමා නිවාස, වැඩිහිටි නිවාස, ආබාධිත පුද්ගලයින් සිටින නිවාස සඳහා විශේෂ අවධානයක් යොමු කරන ලෙස ද අවධාරණය කෙරිණි.

එමෙන්ම, කලාපීය වශයෙන් තරඟකාරී වෙළඳපොළක් නිර්මාණය වන නූතන කෘෂි ක්‍රමවේදයක් සඳහා මධ්‍ය කාලීන හා දිගු කාලීන සැලස්මක අවශ්‍යතාවය අවධාරණය කළ අගමැතිවරයා එය කඩිනමින් සකස් කළ යුතු බවට පවසා සිටියේ ය

මෙම සාකච්ඡාව සඳහා මහින්ද අමරවීර, නලින් ප්‍රනාන්දු , රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් සමඟ හිටපු අමාත්‍ය සාගල රත්නායක, තිස්ස අත්තනායක, පාඨලී චම්පික,මනෝ ගනේෂන්, දිගම්බරන්, රිෂාඩ් බදුර්දීන් යන පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් නවීන් දිසානායක, සමන් රත්නප්‍රිය යන හිටපු මන්ත්‍රීවරුන් සහ සෙන්දිල් තොන්ඩමන්  ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සහභාගි විය.

IMG 20220617 WA0004

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න