''අපි ත්‍රස්තවාදීන්ට එරෙහිව අවිහිංසාවාදීව ක්‍රියා කළා'' - චම්පික

''අපි ත්‍රස්තවාදීන්ට එරෙහිව අවිහිංසාවාදීව ක්‍රියා කළා'' - චම්පික

''අපි ත්‍රස්තවාදීන්ට එරෙහිව අවිහිංසාවාදීව කටයුතු කළා මිස කිසිම ආකාරයක සන්නද්ධ ක්‍රියාදාම වල නියැලිලා නැහැ.'' යයි ජාතික හෙළ උරුමයේ මහලේකම්, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියා සිටියි.

ඇමතිවරයා මෙම අදහස් පළ කර සිටියේ, වර්තමාන දේශපාලන තත්වය පිළිබඳව බත්තරමුල්ල හෙළ උරුමය පක්ෂ කාර්යාලයේදී අද(26) දින පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද පැවසිය.

 ''සන්නද්ධ කල්ලි රජයේ අරමුදල්වලින් පවත්වාගෙන ගිහිල්ලා, සිය ගණනක් මිනිසුන් අතුරුදහන් කළ මිනීමරුවෝ අද තමන්ගේ ප්‍රකාශකයෝ හරහා මේවයේ වගකම අනෙක් අයට පැවරීමේ ශුද්ධවන්තයින් වීමේ, තමන්ගේ ලේ තැවරුණු ටයි කෝට්වලට උඩින් සිල් රෙදි ඇඳ ගැනීමේ ව්‍යාපාරයක් තමයි මේ පොහොට්ටු පක්ෂය අද ක්‍රියාත්මක කර තිබෙනවා.

අපි සතුටු වෙනවා මොකද අපි අභියෝගයක් හැටියට දැකීම පිළිබඳව. ඒ නිසා අප ඉදිරියටත් මේ රටේ සාමය ඇති කරලීම සඳහා කටයුතු කරනවා.

අපි ලියපු පොත පහේ ජාතිවාදයක් නැහැ :

ඒ වගේම සමහර මුස්ලිම් අයිතීන් රැක ගැනීමේ ව්‍යාපාරය කියා කොටසක් චෝදනා කර තිබුණා. අපි ලියපු පොත පත විසින් තමයි මේවා ඇති කළේ කියා.

අප ලියපු පොත්පත් ශාස්ත්‍රීය පොත්පත්. ඒවායේ තිබෙන එක වැරදි කරුණක් හරි පෙන්නලා දෙන්න කියලා අපි අභියෝග කරනවා.

මොකද මවිසින් රචනා කළ අල්ජිහාඞ් අල්කයිඩා කෘතියෙ තියෙන්නේ, අල්කයිඩා ත්‍රස්තවාදී සංවිධානය ඇතිවූ ආකාරය හා ගමන් මග. එහි කිසිම සාමාන්‍ය මුස්ලිම් ජනතාවකට හෝ ලංකාවේ මුස්ලිම් සමාජයට සම්බන්ධයක් නැහැ.

ඒ වගේම ඒ වකවානුවේ අග්නිදිග විශ්ව විද්‍යාලයට එකතු වෙලා ලංකාව තුළ වෙනම මුස්ලිම් රාජ්‍යයක් පිහිටුවා ගැනීම සඳහා වූ ව්‍යාපාරයක් අග්නිදිග විශ්ව විද්‍යාලයෙන් ආරම්භ උනා.

ඒ පිළිබඳවයි ඒ සඳහන් කර තිබෙන්නේ. කවුරු හරි කියනවා නම් එතනයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා ඒ ගොල්ලෝ අල්කයිඩා එකේ සාමාජිකයෝ වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ගොල්ලෝ ලංකාවේ වෙනම මුස්ලිම් රාජ්‍යයක් පිහිටුවන්න ගිය අය විය යුතුයි.

මේ රටේ ඒ අයට විතරයි එම පොත්වලට විරුද්ධ විය හැක්කේ. ශාස්ත්‍රීය වශයෙන් කිසිම වැරදි කරුණක් පැහැදිලිව ලියලා නැහැ.

ත්‍රස්තවාදී එල්.ටී.ටී.ඊ. සම්බන්ධයෙන් ලියපු ශාස්ත්‍රීය සංග්‍රහවලත්, ලේකයේ දේශපාලනය පිළිඳව පළ කර ඇති ශාස්ත්‍රීය සංග්‍රහවලත් සිද්ධ කර තිබෙන්නේ එම කාරණය. ඒවාට ශාස්ත්‍රීය වශයෙන් පිළිතුරු දෙන්න බැරි අය තමයි මම නිසා මේ කළ ඇති උනයි කියලා කියලා ප්‍රකාශ කරන්නේ.

ත්‍රස්තවාදය ගැන එක්තරා මතවාදයකට :

අද මුළු ලෝකයේම ත්‍රස්තවාදය සම්බන්ධයෙන් එක්තරා මතවාදයකට පැමිණ තිබෙනවා. අපේ වෙනස අපි දශක දෙකකට කලින් ලෝකය මුහුණ දෙන මේ ගැටලූව දැක්කා. එය තමයි අපේ පෙර ගමන් දැකීම.

ඒකාලයේ අපට දොස් කියපු ඇතැම් බටහිර තානාපති කාර්යාල අංශ පවා අද අපත් සමග කරන සාකච්ඡාවලදී කියනවා ඕගොල්ලෝ මේක කලින්ම දැකලා කිව්වා. අපට මෙය තේරුම් ගන්න පමා උනා වැඩියි කියලා.

ඒ නිසා මේ රටේ මුස්ලිම් ජනතාව සාතිශය බහුතරයක් මේ රටේ සංස්කෘතියට අනුව ජීවත් වෙන්නත් උත්සාහ කරනවා. ඒ වගේම මේ රට තුළ සාමයෙන් කටයුතු කරනවා.

මේ රටේ මුස්ලිම් ප්‍රජාව විශේෂයෙන්ම 1947 දී ඒ අයට වෙන්වෙලා යාම සඳහා අවස්ථාවක් ඕනෙ නම් ගත හැකිව තිබුණා. නමුත් ඒ වෙනුවට එක්සත් ජාතික පක්ෂයට එකතු උනා. තව පිරිසක් ඊට පස්සේ බණ්ඩාරනායක මහත්මයාට එකතු උනා.

ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකත් සමග එකතුවෙලා සාමකාමීව මේ ගමන මෙතනට ආවේ.

දිගු දක්නා නුවනක් තිබූ මුස්ලිම් නායකයින්:

අද මුස්ලිම් ප්‍රජාව ජනගහණය, ව්‍යපාරික, අධ්‍යාපනය, සමාජමය පැත්තෙන් යම් තැනකට පැමිණ තිබෙනවාද ඒ පැමිණ තිබුණේ සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදිව කටයුතු කිරීමට 1947 දී එවකට සිටි දිගු දක්නා නුවනක් තිබූ මුස්ලිම් නායකයින්, දොස්තර කලීඞ්, ටී.බී. ඡයා වැනි අය ක්‍රියා කළ නිසයි.

ඒ බව මගේ කෘතියේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. ඒ වෙනුවට අන්තවාදී අල්කයිඩා වැනි පිරිස් ඒ වෙලාවේ කි‍්‍රයා කළා නම් අදත් මුස්ලිම් ජනතාවට අත්වනුයේ ඉතාම ඛේදනීය ඉරණමක්. සිරියාවේ ඉරාකයේ අත් වූ ඉරණම මේ රටේමත් ඇතිවනවා.

ඒ අනුව අපි ස්තූතිවන්ත විය යුතුයි දුරදක්නා නුවණින් කටයුතු කළ මුස්ලිම් නායකයින් ගැන. ඒ අයගේ ආදර්ශයෙන් තමයි අපට අනාගතයේ ඉදිරිය ගොඩනගාගත හැකිවන්නේ මේ අන්තවාදී පිරිස් වලින් නොවේය කියන එක අපි අවධාරණය කරනවා. ''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න