Image

අද මීගමුවෙන් ඇසුණු වෙඩි හඬ හෙට වෙනත් බන්ධනාගාරයකින් නොඇසෙන්නට නම්..

අද මීගමුවෙන් ඇසුණු වෙඩි හඬ හෙට වෙනත් බන්ධනාගාරයකින් නොඇසෙන්නට නම්..

මීගමුව බන්ධනාගාරයේ ලේ වැගිරීම; පුපුරා ගියේ කැරැල්ලක් නොව, දශක ගණනාවක් තිස්සේ ගොඩනැගුණු පද්ධතිමය (structural ) අර්බුදයකි.

මා දෛවයේ සරදමකින් හෝ ජීවිතයේ නියළී ඇති හැම රැකියාවක දී ම, බන්ධනාගාර ගතවීමට සුදුසුකම් ලද්දෙක්මි. වරක් අධිකරණ අමාත්‍යංශයේ ප්‍රජා විශෝධන නිලධාරියකු ලෙසත්, ADIC ආයතනයේ පර්යේෂණ නිලධාරියා ලෙසත්, අන්තරාය ඖෂධ (NDDCB) හි පර්යේෂණ නිලධාරී ලෙසත්, විශ්වවිද්යාලයේදී, අපරධ විද්‍යාව උගන්වන ගුරුවරයකු ලෙසත්, බන්ධනාගාර නිලධාරීන් ඉලක්ක කරගත් ඩිප්ලෝමා දෙකක සමායෝජක ලෙසත් හැම වසරක ම ලංකාවේ සිපිරි ගෙවල් හැමකකට ම වගේ ගොස් ඇත. එහෙයින් කිසිවක් නොලියා සිටින්ට සිත් නොදේ.

බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ නිර්මාණය කළ ආකෘතිය

මීගමුව බන්ධනාගාරයේ මෑත දී ඇති වූ ප්‍රචණ්ඩ ගැටුමෙන් රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි වීම සමස්ත ශ්‍රී ලංකාවම කම්පාවට පත් කළේ ය. එය අවාසනාවන්ත සිදුවීමකි. එහෙත්, මෙය හදිසියේ ඇති වූ අනපේක්ෂිත සිදුවීමක් ලෙස සැලකීම වැරදිය. එය වසර ගණනාවක් තිස්සේ නොවිසඳී පැවති බන්ධනාගාර පද්ධතියේ ගැඹුරු ව්‍යුහාත්මක ගැටලු ගොන්නක් එක් මොහොතක පුපුරා යෑමක් ලෙස පෙනී යන්නේ ය.

prisonwi

අපගේ බන්ධනාගාර පද්ධතියේ බොහෝමයක් ආකෘති සහ කෘත්‍ය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ නිර්මාණය කළ ආකෘතිය මත පදනම්ව පවතී. එහෙත් එදා සිට අද දක්වා ශ්‍රී ලංකාවේ ජනගහනය දෙගුණයකට ආසන්න ලෙස වර්ධනය වී ඇත. නාගරීකරණය, මත්ද්‍රව්‍ය ගැටලුව, සංවිධානාත්මක අපරාධ, නීතිමය වෙනස්කම් සහ සමාජ පරිවර්තන හේතුවෙන් බන්ධනාගාරවලට ඇතුළත් වන රැඳවියන්ගේ සංඛ්‍යාව ද, විශාල ලෙස ඉහළ ගොස් ඇත; වෙනස් වී ඇත. නමුත් බන්ධනාගාර ගොඩනැගිලි, ඉඩකඩ, කාර්ය මණ්ඩලය, පුනරුත්ථාපන වැඩසටහන්, තාක්ෂණය සහ කළමනාකරණය එම වේගයට සමාන්තරව වර්ධනය වී නොමැත්තේ ය. බන්ධනාගාර නොබෝ කලකින් පුපුරා යනු ඇතැයි යන්න අප මෙන්ම, නිලධාරීන් ද, ඇමැතිවරයා ද නොදැන සිටියා නොවේ. ඒසේ නම් ප්‍රශනය ඇත්තේ කොහි ද...?

 

එක් ආයතනයක් විසින් විසඳිය නොහැකි සමාජමය ගැටලුව

prison 250825

 

අද ජාත්‍යන්තර මට්ටමින් එක්සත් ජාතීන්ගේ අවම සුභ සාධන මට්ටම්, ‘’"Nelson Mandela Rules', Bangkok Rules" සහ අනෙකුත් මානව හිමිකම් ප්‍රමිතීන් පිළිබඳ අප බොහෝ දේ කතා කරයි. එම ප්‍රමිති අත්‍යවශ්‍ය ය. එහෙත් ප්‍රමාණවත් ගොඩනැගිලි, ප්‍රමාණවත් නිලධාරීන්, පුහුණුව, වෛද්‍ය පහසුකම්, ජලය, සනීපාරක්ෂාව සහ ආරක්ෂක යටිතල පහසුකම් නොමැති තත්ත්වයක් තුළ එම ප්‍රමිති සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කිරීම අපේක්ෂා කිරීම යථාර්ථවාදී නොවේ. අප උගන්වන දෑ සහ ප්‍රයෝගික තත්ත්ව අතර ඇත්තේ අහසට පොළොව මෙන් පරස්පරයකි. මා දන්නා බොහෝ බන්ධනාගාර නිලධාරීන් බොහෝ පීඩන යටතේ වැඩ කරයි. බන්ධනාගාර අධික ජනගහනය යනු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පමණක් ගැටලුවක් නොවේ. එය සමස්ත සමාජයේ සහ රාජ්‍ය පාලන පද්ධතියේ පිළිබිඹුවකි. පාසලේ සිට දේශපාලනය දක්වාත්, නීති සම්පාදකයන් ගේ සිට ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතන දක්වාත්, පොලිසියේ සිට අධිකරණය දක්වාත්, ප්‍රාදේශීය පාලනයේ සිට මුදල් අමාත්‍යාංශය දක්වාත් විහිදී යන සම්බන්ධිත පද්ධති ජාලයක ප්‍රතිඵලයකි. එය එක් ආයතනයක් විසින් විසඳිය නොහැකි සමාජමය ගැටලුවකි.

 

මෙම අර්බුදයට හේතු වූ ප්‍රධාන කරුණු කිහිපයක්

බලධාරීන් මේ පිළිබඳ ව විශේෂයෙන් අවධානයට යොමු කළ යුතු ය.

පළමුව, ශ්‍රී ලංකාවේ බන්ධනාගාර අධික ජනගහනය පිළිබඳ දශක ගණනාවක් තිස්සේ දැන සිටිය ද, කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට අප අසමත් වී ඇත. ගැටලුව හඳුනාගෙන තිබුණ ද, අවශ්‍ය ප්‍රමාණයට නව පහසුකම්, නව බන්ධනාගාර හෝ විකල්ප දඬුවම් ක්‍රම නිර්මාණය කිරීම ප්‍රමාද විය.

 

ukthi

දෙවනුව, විශාල වැටලීම් සහ විශේෂ නීති ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් ආරම්භ කරන විට බන්ධනාගාර පද්ධතියේ ධාරිතාව පිළිබඳ සැලසුම් ප්‍රමාණවත් නොවේ. " ඉවත්වනු" "නවතිමු", "මතට තිත", "යුක්තිය" යනාදි මෙහෙයුම් හරහා දහස් ගණනක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් රඳවා තැබීමට අවශ්‍ය ඉඩකඩ, කාර්ය මණ්ඩලය, ප්‍රවාහනය, වෛද්‍ය සේවා සහ ආරක්ෂක පද්ධති පෙර සූදානම් කළ යුතුය. එසේ නොමැති විට පීඩනය මුළුමනින්ම බන්ධනාගාර මතට පතිත වේ. 

මත්ද්‍රව්‍ය පාලනය යනු දේශපාලන campaign එකකින් ඔබ්බෙහි වන දිගුකාලීන ප්‍රයත්නයක් විය යුතුබව අපි දිගින් ෆිගටම කියන්නෙමු.

තෙවනුව, බන්ධනාගාර ජනගහනය අඩු කිරීම සඳහා දැනටමත් හඳුන්වා දී ඇති විකල්ප, නීතිමය ක්‍රම ප්‍රමාණවත් ලෙස භාවිතයට නොගැනීම ද බරපතළ ගැටලුවකි. සුළු වැරදි සඳහා ප්‍රජා සේවා දඬුවම්, Community Corrections යනාදි ක්‍රම තිබියදීත්, ඒවා අධිකරණය, නීතිඥවරුන් සහ අදාළ ආයතන විසින් ප්‍රමාණවත් ලෙස භාවිතයට නොගැනීම නිසා බන්ධනාගාර වෙත අනවශ්‍ය පීඩනයක් එකතු වී තිබේ. 2005-2007 තරම් දශක දෙකකට මත්තෙන් විකල්ප ලෙස ඉදිරිපත් කළ ලෝකයේ බොහෝ රටවල් ඉතා කදිමට යොදාගත් මේ ක්‍රමය ලංකාවේ දී හෑල්ලූවට සහ නොතකා හැරුණු ක්‍රමයක් බවට පත්විය. වරක් මා හම්බන්තොට ප්‍රජා විශෝධකවරයා ලෙස පත්කර යැවුණු අතර මාස 6ක් යනතුරු, ඉන් ඉවත්වී යනතුරු ම එකම වරදකරුවකු හෝ ඊට නොලැබුණේ ය. ඉන්නට හිටින්නට පුටුවක් හෝ නැතිව ගසක් යටට වී ටයි පටියක් දමාගෙන සිටින්ට මට සිදු විය. එහි සිටි නීතිඥ වරු නඩු අඩුවෙතියි බිය වුහ.

සිව්වනුව, රාජ්‍ය නිලධාරීවාදය (bureaucracy) බොහෝ අවස්ථාවල ප්‍රතිසංස්කරණ සඳහා බාධාවක් වී ඇත. නව පුනරුත්ථාපන මධ්‍යස්ථාන පිහිටුවීම, ඉඩම් ලබා ගැනීම, ගොඩනැගිලි ඉදිකිරීම, අනුමැතිය ලබා ගැනීම සහ නව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී නීති, චක්‍රලේඛ සහ පරිපාලන ක්‍රියාවලි විසින් විශාල ප්‍රමාදයක් ඇති කරයි. උදාහරණයක් දැනට පුනරුත්තපන් මණ්ඩලයේ වසරකට වැඩි කාලයක් අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයකු ලෙස, සෑම සාකච්ඡා වාරයක ම ඉඩම්, ගොඩනැගිලි, හොයමින්, අවසර පතමින්, ලියුම් ලියමින් වෙහෙසෙන නමුත්: අරක අයිති මහවැලියට, මේකට වන සංරක්ෂණෙන් බෑ කියනවා. ආරක්ෂක අමාත්‍යංශයෙන් අහන්නැතුව බැහැ, එතන වතුර නෑ, මෙතැන ගමේ මිනිනිස්සු කැමති නෑ... යනාදි පිළිතුරු තුළ මංමුළා වී සිටින අතර අශ්වයා ඉස්තාලයෙන් පැනගොස් ය.

පස්වනුව, මූල්‍ය සම්පත් හිඟය නිසා අවශ්‍ය ආයෝජන සිදු නොවේ. බන්ධනාගාර යටිතල පහසුකම් බොහෝ විට ප්‍රමුඛතාව ලැබෙන රාජ්‍ය ආයෝජනයක් නොවන අතර, එහි ප්‍රතිවිපාක අවසානයේ ජීවිත අහිමි වීම දක්වා ගමන් කරයි. බන්ධනාගාර යනු ලාභ ලබන ආයතන නොවේ. බන්ධනාගාර යනු , ගෘහ නිර්මාණ ආකෘති, පරිපාලන ආකෘති, දිගුකාලීන වශයෙන් අත්හදා බලන, පර්යේෂණාගාර බඳු විය යුතුය. උදා හරණ ලෙස ලොව අත්හදා බල ඇති බන්ධනාගාර ක්‍රම, ඒවායේ දුර්වලතා, නවමු මංපෙත් සොයා අප අලුත් විය යුතුය.

(Pennsylvania System (Separate System)

Auburn System (Silent/Congregate System), Irish System , Elmira Reformatory System

Borstal System

Open Prison System

Community Corrections

Restorative Justice Model

Nordic Prison Model) නමුත් තවමත් අප වැසුණු පාසල් , අතැර දැමු ගොඩනගිලි සොයමින් සිටිමු.)

හයවනුව, මහජන මතය සහ ඇතැම් නිලධාරීන් ගේ ආකල්ප ද ප්‍රතිසංස්කරණවලට බාධාවකි. "සිරකරුවන්ට පහසුකම් ලබාදීම යනු සුඛෝපභෝගී ජීවිතයක් ලබාදීම" යන වැරදි අදහස තවමත් සමාජයේ පවතී. සර් ඕකුන්ට සැප ගන්න අපි මැරෙන්නේ මොකට ද...? නමුත් මානව ගෞරවය ආරක්ෂා කරන බන්ධනාගාරයක් යනු අපරාධය ප්‍රවර්ධනය කිරීමක් නොව, නැවත අපරාධයට යෑම අවම කරන සමාජ ආයෝජනයකි.

 

prisonartiphoto

හත්වනුව, මූලික පහසුකම් පිළිබඳ නොසැලකිල්ල තවමත් දක්නට ලැබේ. පිරිසිදු ජලය, සනීපාරක්ෂාව, වෛද්‍ය සේවා, මානසික සෞඛ්‍ය සේවා, ඇඳුම් සහ පෝෂණය යනාදි මූලික අවශ්‍යතා ප්‍රමාණවත් නොවීම ආතතිය සහ ප්‍රචණ්ඩත්වය ඉහළ නංවයි. ජම්පරය සහ තීන්ත බාල්දියෙන් ඔබ්බට අප යනු ඇත්තේ කවදා ද...?

අටවනුව, සිරකරුවන් අතර ඉහළ ම ප්‍රතිශතය මත්ද්‍රව්‍ය භාවිතය සමග සම්බන්ධ පුද්ගලයින් බව බොහෝ අධ්‍යයන පෙන්වා දෙයි. (40%-50%) ඔවුන් සියලු දෙනා ම සාම්ප්‍රදායික බන්ධනාගාරවල රඳවා තැබීම වෙනුවට, වෛද්‍යමය සහ සමාජමය පුනරුත්ථාපනය කේන්ද්‍ර කරගත් ප්‍රතිකාර මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම මගින් බන්ධනාගාර පද්ධතියේ පීඩනය සැලකිය යුතු ලෙස අඩු කළ හැකි ය.

නවවනුව, අපරාධ වැළැක්වීම සඳහා වන ආයෝජන තවමත් අවම මට්ටමක පවතී. සමාජය අපරාධ සිදු වූ පසු ප්‍රතිචාර දක්වයි. එහෙත් පාසල්, පවුල්, ප්‍රජා සංවිධාන සහ ප්‍රාදේශීය ආයතන හරහා වැළැක්වීමේ ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමෙන් බන්ධනාගාරවලට පැමිණෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාවම අඩු කළ හැකිය.

දහවනුව, අපරාධ යුක්ති පද්ධතිය තුළ දශක ගණනාවක් පුරා ගොඩනැගුණු සංස්කෘතික රටා සහ ඇතැම් දූෂිත භාවිත එක් දිනකින් වෙනස් කළ නොහැකි ය. ප්‍රතිසංස්කරණ යනු නීති වෙනස් කිරීම පමණක් නොව, සංවිධාන සංස්කෘතිය වෙනස් කිරීම ද අවශ්‍ය වේ. අපි දන්නා තරමින් , අපරාධ යුක්ති ක්‍රමයේ මුලික බලකණු තුන වන, පොලිසිය, අධිකරණය සහ බන්ධනාගරය යන ව්‍යුහ තුන තුළ ම දුෂණයේ හෙවණැලි හොල්මන් කරන්නේ ය. අභ්‍යන්තර දුෂණය පිටුදැකීමේ විශාල මෙහෙයුම් අවශ්‍ය ය.

මෙම කරුණුවලට අමතරව

නඩු පමා වීම වැළැක්වීම (මා හිතන්නේ ලංකාවේ Inquisitorial ක්‍රමය අත්හදා බැලිය යුතුය කියා ය, නඩුකාර තුමන්ලා සිද්ධියෙන් ඉවත්ව, සිටින තාක් එය ආගන්තුක සහ යුක්තියෙන් ඔබ්බට ගිය තර්ක මතින් විසඳෙයි)

v හැකි තාක් තාක්ෂණික මෙවලම් භාවිතා කිරීම, දෘශ්‍ය සාක්ෂි, vedio evidence ect

v දිගු කාලයක් නඩු විභාග නොවී රක්ෂිත බන්ධනාගාරගතව සිටින පිරිස අඩු කිරීම,

v රක්ෂිත බන්ධනාගාර ක්‍රමය වෙනස් කිරීම

v ඩිජිටල් නඩු කළමනාකරණය,

v අවදානම් මත පදනම් වූ රැඳවියන් වර්ගීකරණය,

v මානසික සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම,

බන්ධනාගාර නිලධාරීන් සඳහා අඛණ්ඩ වෘත්තීය පුහුණුව, දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති සැලසුම් කිරීම සහ ස්වාධීන අධීක්ෂණ යාන්ත්‍රණ ශක්තිමත් කිරීම ද අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ වේ.

 

කළ යුත්තේ කුමක් ද?

740611321 10244822776288211 6694752654764117769 n

මීගමුව සිදුවීමෙන් අප ඉගෙන ගත යුතු පාඩම වන්නේ වගකිව යුත්තෙකු සොයා දඬුවම් කිරීම පමණක් නොවේ. මෙය සමාජයක් ලෙස අපගේ ප්‍රතිපත්ති, ආයෝජන සහ ප්‍රමුඛතා නැවත සලකා බැලීමට බල කරන අනතුරු ඇඟවීමකි. බන්ධනාගාර යනු සමාජයෙන් වෙන්වූ ලෝකයක් නොවේ. ඒවා සමාජයේ ම ප්‍රතිබිම්බයකි. බන්ධනාගාරය තුළ ඇති අර්බුදය අවසානයේ සමාජය තුළට ම නැවත පැමිණේ.

එබැවින් අද අවශ්‍ය වන්නේ තවත් එක් පරීක්ෂණ කමිටුවක් හෝ අමාත්‍යවරයාට ඉල්ලා අස්වීමට කෙරෙන මොරගෑම් නොව, ජාතික මට්ටමේ බන්ධනාගාර හා අපරාධ යුක්ති පද්ධති ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළකි. නව ගොඩනැගිලි පමණක් නොව, නව චින්තනයක්ද අවශ්‍යය. එසේ නොවන්නේ නම් අද මීගමුවෙන් ඇසුණු වෙඩි හඬ, හෙට වෙනත් බන්ධනාගාරයකින් නැවත ඇසෙනු ඇත.

 

WhatsApp Image 2026 07 09 at 7.39.57 AM

 

 

 

 

Sudheera Jayaweera

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න