මරීනාගේ සිහිනය වතුරේ : දෙහිවල - ගල්කිස්ස බලයත් පොහොට්ටුවේ

මරීනාගේ සිහිනය වතුරේ : දෙහිවල - ගල්කිස්ස බලයත් පොහොට්ටුවේ

දෙහිවල මහ නගර සභාවේ නගරාධිපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලගේ ස්ටැන්ලි ඩයස් මහතා පත්ව ඇත.

නගරාධිපති ධූරය තේරීම සඳහා අද (26) ජන්ද විමසීම සිදුකල අතර එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් නාවලගේ ස්ටැන්ලි ඩයස් මහතාත් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සුනේත්‍රා රණසිංහ මහත්මිය තරඟ වැදී ඇත. විවෘත ලෙස පැවති මෙම ඡන්ද විමසීමේදී ස්ටැන්ලි ඩයස්ට ඡන්ද 23 ක් ලැබුණු අතර සුනේත්‍රා රණසිංහ ලබාගත්තේ ඡන්ද 21 ක් පමණි.

එජාපයට සහ පොහොට්ටුවට සමාන මන්ත්‍රීධුර

2018 පළාත් පාලන ඡන්ද විමසීමේදී දෙහිවල - ගල්කිස්ස මහනගර සභාව ඡන්ද 36,985 ක් ලබාගනිමින් ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය වූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙවැනි ස්ථානයට පත්වුයේ ඡන්ද 36,029 ක් ලබා ගනිමින්ය.

අදාළ ප්‍රතිඵලය අනුව දෙපාර්ශවයටම හිමිවුයේ 19 බැගින් සමාන මන්ත්‍රීධුර ප්‍රමාණයකි. දෙහිවල - ගල්කිස්ස මහනගර සභාවට හිමි සමස්ත මන්ත්‍රී ධුර සංඛ්‍යාව 48ක් වන අතර ඉතිරි මන්ත්‍රීධුර 10 බෙදී ගියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට 06 ක් සහ ජනතා විමුක්ති පෙරමුණට 04 ක් ලෙසය.

නිදහස් සන්ධානයේ 4ක් පොහොට්ටුවේ සහයට

අදාළ ජන්ද විමසීමේදී එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 6 දෙනාගෙන් 4 ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය ලබා දුන් අතර සෙසු මන්ත්‍රීවරුන් 2 එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබා දී ඇත.

පොහොට්ටුවේ සහය නිදහස් සන්ධානයට

අනතුරුව උප නගරාධිපතිවරයා තෝරා ගැනීමට ද විවෘත ඡන්දයක් පැවති අතර එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලැයිස්තුවෙන් පත්ව සිටි කීර්ති උඩවත්ත මහතා ඡන්ද 25 ක් හිමි කරගත්තේය.

ඒ එක්සත් ජාතික පක්ෂයේ රුවන් කිත්සිරි ලියනගුණවර්ධන (ඡන්ද 19) පරාජයට පත්කරමින්ය. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 19 දෙනාම සන්ධාන මන්ත්‍රීවරයාට සහය පළ කර ඇත.

මරීනාගේ සිහිනය වතුරේ : සිරිකොතේ වහලය බේරේ

මේ අතර 1991 වසරේ සිට අඛණ්ඩව දෙහිවල ගල්කිස්ස මහ නගරසභාවේ මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කළ මරීනා ආබ්දීන් මහත්මිය තමන්ට නගරාධිපතිධුරය ලබාදිය යුතු බවට එජාප නායකත්වයට බලපෑම් කල බව වාර්තා විය. එසේ තමන්ට නගරාධිපතිධුරය නොලැබුණහොත් තමන් සිරිකොත පක්ෂ මුලස්ථානයේ වහලයට නැග උපවාස කරන බවද එහිදී ඇය සඳහන් කර තිබිණ.

ඊට හේතු ලෙස ඇය දක්වා තිබුණේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අදාළ බල ප්‍රදේශය තුළ එජාපය වෙනුවෙන් වැඩිම ජන්ද ප්‍රමාණයක් සහ වැඩිම ජන්ද ප්‍රතිශතයක් (65%) ලබාගෙන තිබීමය.

කෙසේ නමුත් දැන් නගරසභාවේ නගරාධිපතිධුරය පොහොට්ටුවට හිමිව ඇති නිසා ඇයට සිරිකොතේ වහලයට නගින්න සිදුවන්නේද නැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න