Language Switcher

V2025

ජපානයේ  නියෝජ්‍ය තානාපති ඉවත්කිරීම ගැන තානාපතිට චෝදනා !

ජපානයේ නියෝජ්‍ය තානාපති වූ චන්දන වීරසේනට බොරු චෝදනා ඉදිරිපත් කරමින් ඔහුව වහාම ඉවත්කර දැමීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජිව් ගුණසේකරට එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගෙන් බරපතල විවේචනයක් එල්ල වෙමින් තිබේ.

චන්දන වීරසේන ශ්‍රී ලංකා විදේශ සේවයේ පළමු පංතියේ නිළධාරියෙකි.

වාර්තාවන අන්දමට, ජපානයේ රාජ්‍ය ආයතනවලට ව්‍යාජ තොරතුරු ලබාදීමට දුන් උපදෙස් නියෝජ්‍ය තානාපතිවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා කෝපයට පත් තානාපතිවරයා, මෙවැනි පියවරක් ගෙන ඇත්තේ ලංකාවේ විදේශ ඇමතිවරයට නියෝජ්‍ය තානාපතිවරයා පිළිබඳව මුළුමනින්ම අසත්‍ය කරුණු රැසක් ඉදිරිපත් කරමිනි.

ඒ අනුව චන්දන වීරසේනව වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ ට මාරුකර යවා ඇතැයි වාර්තාවේ.

ශ්‍රී ලංකා රජයේ මුදල් රෙගුලාසි වලට පරිබාහිරව තමන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් පාවිච්චි කර තමන්ගෙ පෞද්ගලික බඩු මිලදී ගෙන එම බිල්පත් රජයේ වියදම්වලට එකතු කිරීම් වැනි රාජ්‍ය මුදල් අවභාවිතය, කාර්ය මණ්ඩලය ට හිංසා කිරීම, රටට අපකීර්තියක් අත්වන ලෙස ඝෝෂාකාරී සාද පැවැත්වීම, ආරාධිත ජපන් ජාතිකයන්ට බැනවැදීම, නිරෝධායන නීති උල්ලංඝනය කිරීම, කිසිදු කාර්යභාරයක් නොකරන තමන්ගේ හිතවතුන් රජයෙන් වැටුප් ගෙවා නිල නිවසේ නතර කරවාගෙන ලංකාවේ රාජ්‍ය මුදල් විනාශ කිරීම ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයාට එල්ලවී ඇති තවත් චෝදනාවන් අතරින් කීපයකි.

මේවා පිලිබඳව ජනාධිපතිට, අගමැතිට, විදේශ ඇමතිට හා විදේශ ලේකම්ට පැමිණිලි කළ ද නිවැරදි කර ගැනීමට මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් වාර්තා වෙයි.

තානාපති සංජිව් ගුණසේකර මේ වන විට දින 70 ක් තානාපති කාර්යාලයට පැමිණ නොමැති බව වාර්තාවේ. ඔහු පදිංචිව සිටින ඇමරිකාවේ සිට ජනවාරි 5 යළි
ජපානය ගොස් ඇති අතර ඒවනවිටත් ඔහු කෝවිඩ් ආසදිතයකු බවට හඳුනාගෙන තිබී ඇති බවත් වාර්තා වෙයි.

එසේ කෝවිඩ් අසදිතයකු ලෙස යලි ජපානයට ගොස් ඇති මොහු නියෝජ්‍ය තානාපතිවරයා ලවා ජපානයේ රාජ්‍ය ආයතනයන්ට අසත්‍ය තොරතුරු ලබාදීමට උපදෙස් දී ඇතැයි පැවසේ. නියෝජ්‍ය තානාපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ ට මාරුකර යවා ඇත්තේ එම නියෝගය ප්‍රතික්ෂේප කිරීම නිසා බව තානාපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

මීට පෙර ජපානයේ තානාපති කාර්යාලයේ සේවය කළ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු පංතියේ නිලධාරියකු වන රොෂාන් ගමගේ ද තානාපතිවරයාගේ හිංසාකාරී ක්‍රියාවන්ට ලක්ව තිබූ අතර ඔහු ද මාස කිහිපයක ට පෙර ලංකාවට පැමිණ ඇත.

ඊට පසු මේ දක්වා ලාංකිකයන්ගේ අවශ්‍යතා වෙනුවෙනුත් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වෙනුවෙනුත් සිටි එකම රාජ්‍ය තාන්ත්‍රික නිළධාරියා වූයේ නියෝජ්‍ය තානාපති චන්දන වීරසේන යි. ඔහුට තම දරුවන්ගේ අධ්‍යාපනය ද මග නතර කර දමා ලංකාවට යාමට සිදු වී ඇත.

මීට පෙර මෙම තානාපතිවරයාගේ අනේක වධ හිංසා නිසා තානාපති කාර්යාලයේ ජපන් ජාතික කාර්‍යමණ්ඩල තිදෙනෙකු ම ඉල්ලා අස්වූහ. කෝකියා අදටත් ආගිය අතක් නොමැතිබව තානාපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

මොහුගේ අකාර්යක්ෂමතාව පැහැදිලි කෙරෙන ආසන්නතම සිදුවීම වන්නේ, පසුගිය දා තානාපති කාර්යාලය විසින් සංවිධානය කර තිබු තෛපොංගල් උත්සවයයි. එම උත්සවයට සහභාගී වී ඇත්තේ හතරදෙනෙකු පමණි.

තානාපති කාර්යාල ආරංචිමාර්ග වලට අනුව, තානාපතිවරයාගේ එකම රාජකාරිය වී ඇත්තේ, දිනපතා සිය මුහුනුපොතේ ජයාරූප පලකරවා ගැනීමයි. එම ෆේස්බුක් සටහන් Tag කරන ලෙස තානාපති කාර්යාලයේ නිලධාරීන්ට බලපෑම් කරන තානාපතිවරයා, එම නියෝග නොසලකා කටයුතු කරන නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද වාර්තාවේ.

විශේෂ වාර්තාකරුවෙකු විසිනි