පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතිවාදය සහ ආගම්වාදය නිර්මාණය කර රට අසමගියට පත් කළ අතීත යුගය දැන් නිමා වී ඇති බවත්, සියලු ජාතීන්ට එකට ජීවත් විය හැකි විනයගරුක හා ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැගීමට නව රජය කැපවී සිටින බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ අද (28) කොළඹ නෙළුම් කුලුන පරිශ්‍රයේ දී පැවැති සමස්ත ලංකා මුස්ලිම් තරුණ සංගමයේ (All Ceylon YMMA Conference) 76වන සංවත්සර මහා සභාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි.
2024 වසරෙන් පසුව කිසිදු ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුමකට ඉඩක් නැහැ
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් පැවසුවේ අතීතයේ දී අපේ ආර්ථිකය කඩාගෙන වැටී රට බංකොලොත් වූ බවයි. වසර ගණනාවක කටුක යුද්ධයෙන් පසුව රට ජාතික සමගියෙන් ගොඩනැගීමට අපට, ස්වර්ණමය අවස්ථාවක් ලැබුණත්, පටු දේශපාලන අරමුණු වෙනුවෙන් යුද්ධයෙන් පසුව උදා වූ කාලවකවානුවල දී ඉතාමත් දැනුවත්ව ජාතිවාදයක් සහ ආගම්වාදයක් නිර්මාණය කර රට නැවත අසමගියට තල්ලු කළ බව යි. නමුත් 2024 වසරෙන් පසුව එවැනි කිසිදු ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුමකට ඉඩක් නැති බවත්, රටේ ආර්ථිකය, විනය, නීතිය සහ ශිෂ්ට සම්පන්නභාවය ගොඩනැගීමට නම් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ මැලේ යන අප සියලු දෙනාම සමගියෙන් එකට ජීවත් විය යුතුම බවත් අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේ ය.
අපි සියලු දෙනා ම එක ම මවකගේ දරුවෝ
මුස්ලිම් වුණත්, සිංහල වුණත් අප සියලු දෙනාම මනුස්සයෝ වන අතර අප අතර කිසිදු වෙනසක් නැති බව අමාත්‍ය විජිත හේරත් පැවසී ය. භාෂා, ආගම්, කුල හෝ වෙනත් කිසිදු භේදයකින් තොරව අප සියලු දෙනා ම එක ම මවකගේ දරුවන් මෙන් එකමුතුව එකට සිටිය යුතු බව ද අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේ ය. එමෙන්ම, වසර 70කට අධික කාලයක් මුළුල්ලේ සමස්ත ලංකා මුස්ලිම් තරුණ සංගමය (YMMA) රටේ සියලුම ජාතිකත්ව වෙනුවෙන් ඉටුකළ සමාජ සුභසාධන කාර්යභාරය ද අමාත්‍යවරයා ගේ ඇගයීමට ලක් විය. පසුගියදා ඇති වූ ගංවතුර සහ සුළි සුළං තත්ත්වයේ දී මාතර සහ ගාල්ලේ සිට පැමිණි මුස්ලිම් තරුණ කණ්ඩායම් බදුල්ල සහ මල්වාන යනාදි තමන් නන්නාඳුනන ප්‍රදේශවලට පවා ගොස් ස්වේච්ඡාවෙන් සහන සේවා සැපයීම හරහා ඉස්ලාම් දහම උගන්වන සහෝදරත්වය ප්‍රායෝගිකවම සමාජයට පෙන්නුම් කර ඇති බවද ඔහු කෘතඥපූර්වකව සිහිපත් කළේ ය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ගරු වෛද්‍ය රිස්වි සාලිහ් ( Dr. Rizvi Salih)සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර ගරු හනීෆ් යූසුෆ් (Hanif Yusuf)යන අය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.
මාධ්‍ය ඒකකය - විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය කාර්‍යාලය

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
