රාජපක්ෂ පාලන සමයේ දේශපාලන අනුග්‍රහය පදනම් කරගෙන අධිකරණයට පත් කරන ලද විනිශ්චයකාරවරුන් ඉතා අවම නීති ආචාරධර්ම පවා කෙළෙසා දමමින් ක්‍රියාකරන බවත් ඊවා වනසුන්දර විනිසුරුවරියගෙන් යළිත් වරක් ඒ බව තහවුරු වී ඇති බවත් ලංකා ඉරිදා සංග්‍රහය වාර්තා කරයි.
"අධිකරණය කෙළෙසීම දරුණු අතට" මැයෙන් වන එම වාර්තාවට අනුව මීට වසර 06කට පෙර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් විදුලිබල පෞද්ගලික සමාගමේ නිළධාරීන්ට එරෙහිව දූෂණ චෝදනා මත නඩු පවරා ඇත.
එහෙත් එවකට නීතිපතිවරයාව සිටි මොහාන් පිරිස් එම නිළධාරීන්ගෙන් අල්ලස් ගෙන අධිකරණ ක්‍රියාමාර්ග ඉවත හෙළු බවට චෝදනා එල්ලවී ඇත. එසේම එවකට ඊවා වනසුන්දර වැඩ බලන නීතිපතිවරිය ලෙස කටයුතු කර ඇති අතර එම නඩුව පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් කරුණු නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිපති දෙපාර්තුමේන්තුව විසින් දන්වා තිබී ඇත.
පසුව මේ සම්බන්ධයෙන් මොහාන් පීරිස් වගඋත්තරකරුවෙකු කරමින්, අල්ලස් කොමිසම යළිත් පසුගිය වසරේ අධිකරණ ක්‍රියාමාර්ගයට යොමු වී කොළඹ මහාධිකරණය ඉදිරියේ නඩු පවරා ඇති අතර එම අවස්ථාවේ ඊට එරෙහිව මොහාන් පීරිස් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කර ඇත. ඒ මහාධිකරණ නඩු විභාගය සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක් පනවන ලෙස ඉල්ලා සිටිමින්ය.
ලංකා ඉරිදා සංග්‍රහය වාර්තා කරන ආකාරයට ශ්‍රේෂ්ඨාධිකරණයේදී එම රීට් පෙත්සම සළකා බලන ලද විනිසුරු මඩුල්ලේ ඊවා වනසුන්දර විනිසුරුවරියද සිට ඇති අතර එහිදී තීන්දු වී ඇත්තේ මහාධිකරණයේ නඩු විභාගය වාරණය කිරීමටය.
ඒ අනුව මෙවර අල්ලස් කොමිසම මහාධිකරණයේ නඩු පවරා ඇත්තේ, එදා නීතිපති වශයෙන් ක්‍රියා කළ මොහාන් පීරිස්ට විරුද්ධවය. එදා වැඩ බලන නීතිපති ලෙස, මොහාන් පීරිස් යටතේ ඊවා වනසුන්දර ක්‍රියා කර ඇති අතර එසේම මේ දෙදෙනාම මහින්ද රාජපක්ෂ විසින් දේශපාලන පත්වීම් වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කිරීම ආදී පැති ගණනාවකින් ළබැඳියාවන් අතර ගැටුමක් පවතී.
එසේ තිබියදී රීට් පෙත්සම සලකා බැලීමෙන් ඉවත් වීමට තරම්වත් ආචාරධාර්මිකව ක්‍රියා කිරීමට ඊවා වනසුන්දර ඉදිරිපත් නොවී අධිකරණය අපකීර්තියට පත් කරමින් කටයුතු කර ඇති බවද ලංකා ඉරිදා සංග්‍රහයේ අනාවරණය කර ඇත.
එසේම ඊවා වනසුන්දර මූලික වී ශ්‍රේෂ්ඨාධිකරණය පණවන ලද අතුරු තහනමට විරුද්ධව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින්, රීට් පෙත්සම සලකා බැලීම පංච පුද්ගල විනිසුරු මඩුල්ලකට යොමු කරන ලෙස ඉල්ලීමක් කර ඇති බවද එහි දැක්වේ.

