ශ්‍රී ලංකා නීතිඥ සංගමය වගේ ම ජාත්‍යන්තර නීතිඥ සංවිධානත්, මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර සහ මහාචාර්ය දීපිකා උඩගම වගේ නීති ක්ෂේත්‍රයේ ගෞරවයට පාත්‍ර වෙලා ඉන්න විද්වතුන්ගේත් විරෝධය පවා නොතකා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ගේ ධුර කාලය දීර්ඝ කරන්න ජනාධිපති අනුර ප්‍රමුඛ මාලිමාව ආණ්ඩුව දැඩි අධිෂ්ඨානයක ඉන්න බව පේන්න තියෙනව.
මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එහෙම කිසිම සඳහනක් නොතිබුනත්, නීති සහ අධිකරණ ක්ෂේත්‍රයේ විශාල පිරිසක් විරෝධය පළ කළත්, අගවිනිසුරු ගේ ධුර කාලය දීර්ඝ කිරීම මේ මොහොතේ රටේ දැවෙනම ප්‍රශ්නය නොවුණත්, තමන් කැමති ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනත් සම්මත කරගන්න තුනෙන් දෙකේ බලයක් තියන ආණ්ඩුවට පැහැදිලිවම බලය සහ හැකියාව තියෙනව. නමුත් ඒක සිදුවිය යුත්තේ නීත්‍යානුකූලව සහ ප්‍රජාතන්ත්‍රවාදීව.
රටේ අනාගතය පිළිඳ අතිශය භයංකර චිත්‍රයක්
ආණ්ඩුව සහ අධිකරණයේ බලධාරීන් රටේ අධිකරණයට සම්බන්ධ සංශෝධනයක් සම්මත කරගන්න යන්නේ තර්ජන, ගර්ජන කරලා අධිකරණ නිලධාරීන් බියපත් කරලා නම් ඒකෙන් මතුකෙරෙන්නේ රටේ අනාගතය ගැන අතිශය භයංකර චිත්‍රයක්. කොටින්ම මේ සංශෝධනය ගැන අධිකරණ නිලධාරීන් ප්‍රජාතන්ත්‍රවාදීව අදහස් දක්වන්න කැඳවන රැස්වීමකට පවා බාධා කරනවා නම් සහ ඒ සංශෝධනයට විරුද්ධ අධිකරණ නිලධාරීන්ට ගහෙන් ගෙඩි එනවා වගේ මාරුවීම් ලැබෙනවා නම් ඒකෙන් කියන්නේ අනුර ප්‍රසිද්ධ රැස්වීම්වල කතාකරන දේ සහ යථාර්ථය අතර අහසට පොළව වගේ පරතරයක් තියන බව. කොටින්ම ඒ තර්ජන, ගර්ජන කරන්නේ කවුරු වුණත් අදාළ සංශෝධනය ගෙනල්ල සම්මත කරගන්න හදන්නේ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව.
ඔබට මතක ඇති මම මීට කලින් සටහන් කළා මේ සංශෝධනය ගැන සාකච්ඡා කරන්න ජුලි 11 වෙනිදා අධිකරණ සේවා සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් කැඳවාගන්න ලැබීම අධිකරණයේ නිදහස වෙනුවෙන් කෙරෙන සටනේ ජයග්‍රහණයක් කියල. නමුත් ඒ තීරණය ගත්ත මොහොතේ ඉඳල අධිකරණ නිලධාරීන් පිරිසක් ඒ රැස්වීම කඩාකප්පල් කරන්න උත්සහ කරමින් ඉන්න බව ඉතාමත් විශ්වාසවන්ත ආරංචි මාර්ග සංදේශය සමග කියා සිටියා. ඒ නිලධාරීන්/නිලධාරිනියන් පස් දෙනා ගේ නම් පවා ඔවුන් මට දැනුම් දීල තියෙනව. ඔවුන් ගේ උත්සාහය වෙලා තියෙන්නේ අධිකරණ නිලධාරීන් මේ රැස්වීමට සහභාගි වීම වැළැක්වීම.
සැඟවීමට ඇත්තේ මොනවා ද...?
සාමාන්‍යයෙන් අධිකරණ සේවා සංගමයේ ඒ වගේ රැස්වීමක් පවත්වන්නේ කොළඹ දිසා අධිකරණ ශාලාවේ. නමුත් මේ වෙනකොට ඒ විශේෂ මහා සභා රැස්වීම වෙනුවෙන් හැමදාම ලබාදෙන ඒ ශාලාව ලබාදිය නොහැකි බව දැනුම් දීල තියෙන බව සංදේශයට වාර්තා වෙනවා. ආරංචිමාර්ග කියන විදියට ඉන් පසුව රැස්වීම පැවැත්වීම සඳහා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය ලබා දී ඇති නමුත් ඒ සඳහා නිසි අවසරය ලබා ගෙන නොමැති බව දන්වමින් අදාළ නිලධාරියාට විරුද්ධව විනය පරීක්ෂණයක් ආරම්භ කරන බවටත් වාචික දැනුම්දීමක් ලැබිල තියෙනව.
මතක තියාගන්න මේ සංශෝධනය ගැන ආණ්ඩුව රටවැසියන් ගෙන් කිසිම අදහස් විමසීමක් කරලා නැහැ. මම දන්න විදියට අනුර මේ ගැන කතා කරලා තියෙන්නේ අගවිනිසුරුතුමා, අධිකරණ ඇමති හර්ෂණ සහ ආණ්ඩුකාර වසන්ත ජිනදාස වගේ කිහිප දෙනෙක් එක්ක විතරයි. ජනාධිපති අනුර සහ අගවිනිසුරු සූරසේන මේ සංශෝධනය ගෙන එන්නේ නීත්‍යානුකූලව නම්, රටේ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමට නම්, අධිකරණ නිලධාරීන් ඒ ගැන විවෘත සාකච්ඡාවක් කරනවට මේ තරම් බය ඇයි? එහෙම සාකච්ඡාවකට පවා බාධා කරන්න තරම් මොනවාද ඔවුන්ට සඟවන්න තියෙන්නේ?
ඇත්තට ම අපි ගමන් කරමින් සිටින්නේ කොතැට ද...?
මේ අතරේ කොටුව මහේස්ත්‍රාත්වරයා ලෙසින් සේවය කරමින් සිටියදී අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙක් විදියට උසස්වීමක් ලබපු ඉසුරු නෙත්තිකුමාර විනිශ්චයකාරවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි හම්බන්තොට දිසා අධිකරණයටත්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් උද්දාල සුවඳුරුගොඩ වහාම ක්‍රියාත්මක වන පරිදි කොමිෂන් සභාවෙන් ස්ථාන මාරු කිරීමටත් තීරණය කරලා තියන බව මාධ්‍ය වාර්තා කරනවා. විශ්වාස කටයුතු ආරංචි මාර්ග සංදේශයට කියපු විදියට, අගවිනිසුරුවරයා ගේ ධුර කාලය දීර්ඝ කිරීමේ උත්සාහයට මෙම නිලධාරීන් දෙදෙනා දැඩි විරෝධය පළ කර තිබෙනවා. මෑතක දී කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරමින් ඉසුරු නෙත්තිකුමාර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ලේකම් සමන් ඒකනායක සහ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ යන මහත්වරුන් සම්බන්ධ නඩු ඇතුළු ඉහළ අවධානයක් දිනාගත් නඩු කිහිපයක ම විනිසුරු අසුන හෙබවූ විනිසුරුවරයෙක්. තතු දත් පුද්ගලයින් කියන විදියට මේ සියලු ක්‍රියාදාම මගින් උත්සහ කෙරෙන්නේ සෙනසුරාදා පැවැත්වීමට නියමිත අධිකරණ සේවා සංගමයේ විශේෂ මහා සභා රැස්වීමට අධිකරණ නිලධාරීන් පැමිණීම වළක්වා රැස්වීම කඩාකප්පල් කිරීම. රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමයට සෘජුව සම්බන්ධ නිලධාරීන්ට මේ අන්දමට තර්ජන එල්ලවන්නේ නම්, එවන් රටක අධිකරණයේ නිදහස සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය ගැන තවදුරටත් විශ්වාසය තියන්න පුලුවන්ද?
මේ විදියට අධිකරණ නිලධාරීන් බියපත් කරන සහ අධිකරණ නිදහසට බාධා කරන ආණ්ඩුවකින් යුක්තිය හෝ සාධාරණය බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? ඇත්තටම අපි මේ යමින් ඉන්නේ කොහාටද?
Saroj Pathirana
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
