ගුරුවරුන්ගෙන් රට පුරා කළුකොඩි : ජනාධිපති සුබ පතයි !

ගුරුවරුන්ගෙන් රට පුරා කළුකොඩි : ජනාධිපති සුබ පතයි !

අද (05) ට යෙදී තිබෙන ලෝක ගුරු දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ෆේස්බුක් පිටුව ඔස්සේ පණිවිඩයක් නිකුත්කර ඇත.

එය මෙසේය.

“ගුරුවරයා යනු සුපැහැදිලි අනාගතයක් උදෙසා දරුවාට මඟ පෙන්වන්නා ය. දෙමව්පිය ඇසුරෙන් පසු ගුරු ඇසුරට පත් වන දරුවා හික්මවමින් ගුණවත්, විනයගරුක හා දැනුමින් සපිරි දරුවකු බවට පරිවර්තනය කර සමාජගත කරන්නේ ගුරුවරයා ය. එවැනි අභිමානවත් හා ගෞරවනීය වෘත්තියක නියැලෙන ඔබ සැමට සුබ ගුරු දිනයක් වේවා යි අද දින මාගේ සුභාශිංසන එක් කරන අතර ම තවත් සුවහසක් දරු පිරිසක් දැනුමින්, නුවණින් හා විනයෙන් පෝෂණය කිරීමට හැකි වේවා යි මම ප්‍රාර්ථනා කරමි.”

ගුරුවරුන් කළුකොඩි දායි !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙසේ ලෝක ගුරු දිනය වෙනුවෙන් සුබ පැතුවත්, මේ මොහොතේ පොදුජන පෙරමුණේ ගුරු වෘත්තීය සමිතිය හැර අනෙක් සියලු ගුරු - විදුහල්පති වෘත්තීය සමිති වර්ජනයක් දියත් කර ඇත.

ඒ වසර 24 ක් පැරණි ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ඉවත්කර ගැනීම සඳහා ය.

අදාළ ගැටළුව විසඳන බව වත්මන් පාලනයේ මැතිවරණය පොරොන්දුවක් ද වෙයි. එසේම වැටුප් විෂමතා ඉවත්කරන ගුරු විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලන සුබෝධිනී කමිටු වාර්තාවත් ආණ්ඩුව ඉදිරිපත් කරනු ලැබුවකි.

මාස කිහිපයක් වන මේ ගුරු විදුහල්පති වෘත්තීය අරගලය කුමන්ත්‍රණයක් , කඩාකප්පල් වැඩක්, කාලකන්නි, ෂයිලොක්, නිකං ඉඳලා පඩි ගන්න පිරිසක් ආදී විවිධ ලේබල් ගැසීමට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පසුගිය සමයේ කටයුතු කරනුද දකින්නට ලැබිණ.

එසේම ගුරු විදුහල්පති වෘත්තීය සමිති විරෝධතාවක් හේතුවෙන් පිරිසක් බලහත්කාරයෙන් නිරෝධායනයට යොමුකිරීම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම , අධිකරණයට ඉදිරිපත් කිරීම් ද සිදුවිය.

කෙසේ වුවත් ආණ්ඩුව දැනට ආණ්ඩුව කියන්නේ රුපියල් 5000ක දීමනාවක් දැනට ගෙවන්න සූදානම් බවයි. ගුරු විදුහල්පති වෘත්තීය සමිති කියන්නේ තමන්ගේ ඉල්ලීම දීමනාවක් නොවන බවයි. එබැවින් ඉල්ලීම ඉටුවන තුරු වෘත්තීය අරගලය ඉදිරියට ගෙනියන බවත් ඔවුන් පවසයි.

එහිදී ලෝක ගුරු දිනය නිමිත්තෙන් අද අධ්‍යාපන කළාප මට්ටමින් උද්ඝෝෂණ විරෝධතා දියත්කරන බවත් හෙට රට පුරා කලුකොඩි දමන බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න