රාජපක්ෂ නම සමග රට යළිත් ජාත්‍යන්තරයට !

රාජපක්ෂ නම සමග රට යළිත් ජාත්‍යන්තරයට !

ජනාධිපති , අගමැති මෙන්ම මුදල් ඇමති ගේද ඥාතියකු වන නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් ව්‍යාජ සමාගමක් ඔස්සේ රැස්කළ මහා ධන සම්භාරයක් සම්බන්ධයෙන් ලෝකයේ මෙතෙක් සිදුවූ දැවැන්තම මාධ්‍ය ගවේෂණයකින් අනාවරණයවී තිබේ.

පැන්ඩෝරා පත්‍රිකා (Pandora Papers) යනුවෙන් හැඳින්වෙන එක්කෝටි විසි ලක්ෂයකට ආසන්න ලියවිලි ගොන්නක් සහිත මේ දත්ත සමුදාය ලබාගෙන ඇත්තේ වොෂින්ටනය මුලස්ථාන කොටගත් ICIJ නම් ප්‍රකට ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සමූහය (International Consortium of Investigative Journalists) විසින්ය.

ඒ තුළ රටවල් 90ක රාජ්‍ය නායකයන්, ලෝක බලවතුන් හා ධනකුවේරයන් තුන්සියයකට අධික පිරිසකගේ මුල්‍ය ගනුදෙනු ඇතුලත් ලිපිගොනු කන්දරාවක් විමර්ශනය කළ රටවල් 117ක මාධ්‍යවේදීන් 600 කට වැඩි පිරිසක් අනාවරණය කරගත් තොරතුරු ඇතුලත් බව සඳහන් ය.

එහිදී , නිරුපමා රාජපක්ෂ සහ කෝටිපති ව්‍යාපාරික නඩේසන් විසින් කඩදාසියේ පමණක් සීමාවූ සමාගමක නමින් ලන්ඩන් සහ සිඩ්නි නගරවල සුඛෝපභෝගී මහල් නිවාස , ඇතුළු තොරතුරු සම්බන්ධයෙන් අනාවරණය කර ඇත.

එහිදී ICIJ මෙසේ සඳහන් කර ඇත.

“නීතියෙන් සැඟවුණු රටවල වෙනත් ව්‍යාජ සමාගම් සහ භාරයන් පිහිටුවාගත් නඩේසන්, ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සමග ව්‍යාපාර කරන සමාගම් වලින් වාසිදායක උපදේශක කොන්ත්‍රාත් ලබාගැනීමටත්, කලා නිර්මාණ මිලදී ගැනීමටත් එම සමාගම් යොදා ගත්තේය,”

“ඉන් එක සමාගමක් වන පැසිෆික් කොමොඩිටීස් (Pacific Commodities) විසින් දේපල සඳහා අයබදු හෝ තීරුබදු ගෙවන්නට සිදු නොවන අධි ආරක්ෂක ජිනීවා ෆ්‍රීපෝර්ට් (Geneva Freeport) ගුදමට චිත්‍ර 31 ක් ඇතුළු තවත් දකුණු ආසියානු කලා නිර්මාණ යවා තිබේ.”

තිරුකුමාර් නඩේසන් ගේ දීර්ඝකාලීන ගණකාධිකාරී ආයතනය වන සිංගප්පුරුවේ පිහිටි ඒෂියාසිටි ට්‍රස්ට් (Asiaciti Trust) සමාගමේ රහස්‍ය ඊමේල් අනුව 2011 වනවිට ඔහුගේ සමස්ත ධන සම්භාරයේ වටිනාකම ඩොලර් මිලියන 160කට වැඩි වෙතැයි ගණන් බලා තිබුනත්, ඒ බව ස්වාධීනව තහවුරු කරන්නට ගවේෂක මාධ්‍යවේදී සමූහය සමත් වී නැත.

නඩේසන්ගේ අක්වෙරළ සමාගම් සහ අරමුදල්වලින් ඒෂියාසිටි විසින් කළමනාකරණය කරන ලද සම්පත් ප්‍රමාණය ඩොලර් එක්කෝටි අසුලක්ෂයක් පමණ වෙතැයි ICIJ ගණන් බලා තිබේ.

ගවේෂණයෙන් හෙළිවූ කරුණු පිළිබඳව නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු දීම නිරූපමා රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේසන් විසින් ප්‍රතික්ෂේප කරන ලද බව ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සමූහය (ICIJ) ප්‍රකාශ කරයි.

image

image 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න