"ශ්‍රී ලංකන් එයාර් - මිහින්" ජනාධිපති කොමිසමේ සහයට විශේෂ පොලිස් කණ්ඩායමක්

"ශ්‍රී ලංකන් එයාර් - මිහින්" ජනාධිපති කොමිසමේ සහයට විශේෂ පොලිස් කණ්ඩායමක්

ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ආයතනවල සිදුවී තිබෙන වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමට සහාය දක්වමින් විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පොලිස්පතිවරයා පත්කර ඇති බව වාර්තා වෙයි.

ASP ලෝරන්ස් සහ ජනාධිපති නීතිඥ නීල් උනම්බුව

ජනාධිපති පරීක්ෂණ කොමිසමේ ඉල්ලීමකට අනුව පත්කර තිබෙන මේ පොලිස් කණ්ඩායම සහකාර පොලිස් අධිකාරි ලෝරන්ස් මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් නිලධාරීන් දසදෙනකුගෙන් සමන්විතය.

එසේම අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නීල් උනම්බුව මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ අධිනීතිඥ කණ්ඩායමක් නීතිපතිවරයා වෙනුවෙන් කොමිසමේ කටයුතු සඳහා සහාය දක්වන අතර කොමිසම ඉකුත් පෙබරවාරි 15දා සිට දිනපතා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී රැස්වෙමින් අදාළ කටයුතු සම්පාදනය කරමින් සිටියි.

අප්‍රේල් 12 ට පෙර පැමිණිලි ගේන්න

එහිදී 2006 ජනවාරි පළමුවැනිදා සිට 2018 ජනවාරි 31 දක්වා වූ කාලය තුළදී සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ මහජන පැමිණිලි ලබා ගැනීම සිදුවන අතර සියලුම පැමිණිලි අප්‍රේල් 12 හෝ එදිනට පෙර ඉදිරිපත් කලයුතු බවද දැනගන්නට ඇත.

එසේම අදාළ පැමිණිලි බවත් සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවලින් ඉදිරිපත් කරන්නට හැකි අතර පැමිණිකරුගේ අනන්‍යතාව හෙළි කිරීමට අකමැති නම් ඒ බව සඳහන් කළ යුතු බවත් ඊට අදාළ සියළු විස්තර ඉකුත් 12දා පුවත්පත් දැන්වීම් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙන බවද කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ආයතනවල සිදුවී තිබෙන වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සභාපතිවරයා ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න කටයුතු කරන අතර එහි සෙසු සාමාජිකයින් ලෙස විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු ඒ. ජී. ආර්. අමරසේකර, හිටපු මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, හිටපු නියෝජ්‍ය විගණකාධිපති එච්. ඩී. ඒ. හැරල්ඩ් මහත්වරු සහ විගණන ප්‍රධාන සමීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. ජී. කේ. ගීගනගේ මෙනවිය කටයුතු කරයි. කොමිසමේ ලේකම්වරයා ලෙස පත්කර තිබෙන්නේ එච්. ඩබ්ලිව්. ගුණදාස ය.

කෙසේ නමුත් ශ්‍රී ලංකන් හි සිදුව ඇති වංචා දුෂණ සෙවීම සම්බන්ධයෙන් මීට පෙර ජේ.සී වැලිඅමුණ කමිටුව විසින්ද වාර්තාවක් සකස් කර තිබෙන අතර දුෂණ විරෝධී සංවිධාන පෙන්වා දෙන්නේ මෙම ජනාධිපති කොමිසමේ පරීක්ෂණ සඳහා එම වාර්තාවද පදනම් කරගත හැකි බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න