Language Switcher

V2025

විමල් තවම වැල මැස්සට ඇවිත් නැද්ද?

" ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය,මේ මව් පොලොව බේරාගැනීමට ඇති අන්තිම අවස්ථාවටයි අද අපී පැමිණිලා සිටින්නේ " " අපි කවදාවත් වැල යන අතට මැස්ස ගහන්නේ නෑ.අපිට ඕනි තැන මැස්ස ගහලා වැල මැස්සට ගෙන්න ගන්නවා "

ඒ විමල් 2019 ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා කියපු රසවත් හුරතල් කතා දෙකක්.ඊට ඉස්සෙල්ලා විමල් - බැසිල් හවුල එක්සත් ජනතා නිදහස් සන්ධානය කුඩුපට්ටම් කලා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩලා පොදුජන පෙරමුණ හැදුවා.පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කෙරෙව්වා.දැන් ඊට අවුරුදු දෙකකට පස්සේ ඒ පොදුජන පෙරමුණු ආණ්ඩුව ඇතුළේම විමල්ලා තවත් සන්ධානයක් හදලා.විමල්ට සන්ධාන එකක් නෙවෙයි දහයක් හදන්න අයිතිය තියෙනවා.ඒ අයිතියට රටේ රාළ කවදාවත් අභියෝග කරන්නේ නෑ.හැබැයි පවතින හා පැවති දේශපාලන යථාර්ථය ප්‍රතික්ෂේප කරලා කාටවත් මොකුත් කරන්න බෑ.ඒක නිසා ආණ්ඩුව ඇතුළේ විමල්ලා හදලා තියෙන ඔය සන්ධානය සුජාත එකක්ද?එහෙමත් නැත්නම් ඕකත් කඩේ යන ගමන් මහින්ද හම්බ වෙලා හැදුවා වගේ තවත් අවජාතක සන්ධානයක්ද?

ඒ ප්‍රශ්නයට උත්තර හොයාගන්න නම් විමල් මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕනි.දැන් තවම තියෙන්නේ විමල් කියපු මව්බිමේ අවසන් අවස්ථාවද?අවසන් අවස්ථාවට පස්සේ තව අවස්ථාවක් තියනවාද?එහෙනම් ඒ මොකද්ද?තව අවස්ථාවක් තියනවා නම් විමල් අවසන් අවස්ථාව කියලා එදා කිව්වේ බොරුවක්ද?අද මව්බිම බේරාගන්න තියෙන්නේ කාගෙන්ද?විමල්ලා අවසන් අවස්ථාව කියලා රට බාරදුන්න රාජපක්ෂලාගෙන් නෙවෙයිද?වැල තවම මැස්සට ඇවිත් නැද්ද?විමල් තවමත් මැස්ස යටද?

විමල් එදා කියපු කතාව ඇත්ත නං විමල් ආයෙත් සන්ධාන අටව අටව ඉන්න එකේ තේරුමක් නෑ.එහෙම නං කෙලින්ම විමල්ට තියෙන්නේ ගෝඨාභය හම්බවෙලා මව්බිම බේරාගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ගය ගන්න. මොකද අවසන් අවස්ථාව මඟහැර ගන්න එපා.හැබැයි විමල් පිලිගන්නවා නම් ඒ කතාව බොරු කියලා.විමල්ලා කිසිම වැඩපිලිවෙලක් නැතිව වහල්ලු වගේ රාජපක්ෂලව දිනෙව්වා කියලා.විමල් පිලිගන්නවා නම් දැන හෝ නොදැන විමල්ටත් වැරදුණා කියලා.එහෙම නං රටේ රාළට ඔය උත්සාහය ගැන සළකා බලන්න පුළුවන්.අනික තමයි විමල් හරියට ඔප්පු කරලා පෙන්නන්න ඕනි ඔය සන්ධානය හදන්නේ රට රාජපක්ෂලාගෙන් බේරගන්නද?නැත්නම් විමල්ලාට රාජපක්ෂලාගෙන් බේරෙන්නද කියලා?මොකද විමල්ලාගේ බේරුම වෙනුවෙන් ඉස්සර වගේ තවත් මාධ්‍ය සංදර්ශනවලට දැන් ඉඩ නෑ.ඒවට ඉඩ දෙන්නත් බෑ.

රටේ රාළට මතකයි 20 වන සංශෝධනයේදී විමල් ඇතුළු ඔය නඩේ හැසිරුණ විදිහ.ඒ වගේ ෂෝ නං ආය පෙන්නන්න එන්න එපා.මේ පාපකර්මයට ප්‍රධාන හේතුව විමල්ලා වෘෂභයෝ රැලක් වගේ බන්දේසියක තියලා ගෝඨාභයට 20 දීම නෙවෙයිද?එදා 20 ට විරුද්ධ මතුවුණු ජනතා විරෝධය විමල්ලා මංකොල්ල කෑවා.විමල්,වාසු,ගම්මන්පිල ඇතුළු ඔය කණ්ඩායම ඊට වගකියන්න ඕනි. අර මැදගොඩ අබේතිස්ස හාමුදුරුවොත් අද වනගත වෙලා හිටියට ඒ පව්කාර වැඩේට සම්බන්ධ වුණා.රටේ රාළට උන් වහන්සේට කියන්න තියෙන්නේ ඒක ආනන්තරිය පාප කර්මයක් කියලා.එදා විමල්ලා,ගම්මන්පිලලා ඇවිත් කිව්වේ අපි ජනාධිපතිතුමා හම්බ උනා.එතුමා හරියට සංවේදී වුණා.අපිත් හරියට සංවේදී වුණා.මේ අවස්ථාවේ 20 සම්මත කරලා දෙන්න කියලා අපෙන් ඉල්ලීමක් කළා.2021 දී ගේන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපි කියන ඔක්කොම දෙන්නං.දිත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට වගේම රටේ තීරණාත්මක තැන්වලට එන්න බැරි විදිහට ඔක්කොම කරන්නම් කිව්වා කියලා.

රටේ රාළ අහන්නේ විමල් කෝ ඒ ව්‍යවස්ථාව. අඩුම ගානේ ඒකේ ආකෘතියක්වත් ඔයාලා දැක්කද?අඩුම ගානේ ඔයාලා ඒ ගැන වචනයක් කථා කළාද?රට විකුණගෙන කන්න අණ පනත් ගේන්න පුළුවන්.ඔයාලටත් ඒවට අත උස්සන්න පුළුවන්.හැබැයි ඔය කියන ව්‍යවස්ථාව ගේන්න බෑ.ඒ ගැන කටක් අරින්න බෑ.ආයෙත් ඒ තත්වයම දැන් උදාවෙලා.විමල් ආයෙත් දහදෙනාගේ කණ්ඩායමත් පිරිවරාගෙන ජනාධිපති හම්බ වෙන්න යන්න ලෑස්ති වෙනවා.හැබැයි විමල් මතක තියාගන්න දැන් එතන සංවේදී වෙන්න ගෝඨාභය කෙනෙක් නෑ.දැන් එතන ඉන්නේ ඔයාලා අන්ධයෝ වගේ දුන්න 20 වෙනි සංශෝධනය කියන දෙපැත්ත කැපෙන කඩුව අතට අරන් ඉන්න වියරු මිනිහෙක්.ඒ ගෝඨාභයගේ පෞද්ගලික වැරැද්දම නෙවෙයි. ඔයාලා ගොන්තඩි වගේ දුන්න 20 වෙනි සංශෝධනයෙන් හදපු මිනිහා තමයි ඒ ඉන්නේ.ඔයාලට තියෙන්නේ උත්තර දෙකයි. එක්කෝ සුපුරුදු විදිහට යටත් වෙන්න. නැත්නම් සටන් කරන්න.

රටේ රාළට විමල් ගැන තියෙන අද්දැකීමට අනුව නං වෙන්න පුළුවන් එකම දේ විමල් සටන පාවාදී යටත්වීම විතරයි.කමක් නෑ.රටේ රාළ මෙහෙම හිතන්නම්.විමල්ටත් සාධාරණයක් වෙන්නත් එක්ක.ඊළඟට මිනිස්සුන්ට වෙනස් වෙන්නත් අයිතිය තියනවානේ.මොකද ඔය කවුරුත් ගැන ගල් ගැහුණු පූර්ව නිගමනවල රටේ රාළ නෑ.හැබැයි එතනදී ආයෙත් මෙහෙම ප්‍රශ්නයක් එනවා.ඒ සටන කරන්නත් විමල් අතේ සදාචාර බලයක් තියනවද කියන ප්‍රශ්නය.ඒක නම් විමල්ට නෑ.රාජපක්ෂලා ඒ ෆයිල් ටික තියාගෙන ඉන්නේ විමල්ට ගහන්න.ෆයිල් තිබ්බට බය වෙන්න ඕනි නෑ.තමන් වැරදි නැත්නම්.ඔය පහුගිය දවස්වල විමලුත් කිය කියා ගියේ රටේ රාළ කියන්නේ බැසිල්ගේ ගෝලයෙක් කියලා. විමල් ඒවයින් නං රටේ රාළ හොල්ලන්න බෑ. රටේ රාළ විජේවීරගේ ගෝලයෙක්.විජේවීරගේ නියම ගෝලයෝ දේශපාලන කපටින්ට රැවටෙන්නේ නෑ.හැබැයි විමල්ට ඒ සහතිකය දෙන්න බෑ.ඒක විමලුයි,රටේ රාළයි හොදට දන්නවා.ඒක නිසා සර්ගේ කඩුව ඉස්සරහා විමල්ලාට සංවේදීවීම නෙවෙයි යටත්වීමටයි මේ පාර සිද්ධ වෙන්නේ.

විමල් ඔය ලොකු කතා ඕනි නෑ.පුළුවන් නම් ගෝඨාභයගෙන් අර අනුර කුමාර කියපු කතාවවත් අහගෙන එන්න.රෑ 12 ට ගිවිසුම් අත්සන් කරන්න ඔයාලා බකමූනොද කියලා. රටේ රාළත් ඇහුවා කියන්න ඒ ආපු ඇමරිකන් සුද්දා බකමූණෙක්ද කියලා.විමල් එළියට ඇවිත් නැගෙනහිර ජැටිය නොදී බටහිර ජැටිය ඉන්දියාවට නෙවෙයි බටහිර ඉන්දියාවට දුන්නත් අපට කමක් නෑ කිව්වා වගේ මුග්ධ කතාවක් කියන්න බැරි නෑ.ඇයි බටහිර ජැටිය තියෙන්නේ ලංකාවේ නෙවෙයිද?නැත්තං මාවරමණ්ඩියේද?නැත්තං තූත්තු කුඩියේද?මේ වෙනකම් ආණ්ඩුවේ දුෂ්ඨ අරමුණු සාධාරණීකරය කරපු විමල් මෙහෙම කියන්නත් බැරි නෑ.යුගදනව් නැවත පවරා ගන්න කරන්න පුළුවන් හැමදේම කරන්න එතුමා අපට පොරොන්දු වුණා.අලුතෙන් හදන LNG බලාගාරය හා මන්නාරම් ද්‍රෝණියේ තෙල් සම්පත කිසිදු විදේශීය සමාගමකට දෙන්නේ නෑ කියලත් එතුමා අපට සහතික වුණා.රටේ සම්පත් රැකගැනීමට අවශ්‍ය ව්‍යවස්ථාමය බලය ඇතුලත් පනතක් එතුමා ගේන අලුත් ව්‍යවස්ථාවට ඇතුල් කරනවා කියලත් කිව්වා කියලා.

බොහෝ දුරට වෙන්න පුළුවන් ඕක.හැබැයි ඒක වෙනවා නම් විමල්ලා මොනවා කිව්වත් රටේ රාළට ඇත්ත රටට කියන්න වෙනවා.ඔය ඇමති කට්ටේ තියෙන සැප විදින්න.විමල් ගතකරන අසීමාන්තික සුඛෝපභෝගී ජීවිත රැකගන්න,තවදුරටත් හම්බ කරන්න එතන නැවතුනා කියලා.හරි එක එදාට බලාගමු.

එහෙනම් ගිහින් එන්නම්. බුදු සරණයි.ජයවේවා.

මිට රටේ රාළ.

(ප්‍රියංජිත් විතාරණ ගේ ෆේස්බුක් ගිනුමෙනි )