Image

"ෂැන්ග්‍රි-ලා ඉඩම් ගනුදෙනුවේ දූෂණ විමර්ශනය කරන්න: පුරවැසි බලයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්"

"ෂැන්ග්‍රි-ලා ඉඩම් ගනුදෙනුවේ දූෂණ විමර්ශනය කරන්න: පුරවැසි බලයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්"

ෂැන්ග්‍රි-ලා සහ One Galle Face ඉඩම් ගනුදෙනුව ගැන දූෂණ චෝදනා විමර්ශනය කරන්නැයි අල්ලස් කොමිසමට ඊයේ (29) පැමිණිල්ලක් යොමු කරයි.

රුපියල් මිලියන 13,749ක ඉඩම් විකිණීමේදී නියමිත ක්‍රියාපටිපාටි උල්ලංඝනය වී ඇති බවට එහිදී චෝදනා කරයි.

කොළඹ ගාලු මුවදොර පිහිටි ෂැන්ග්‍රි-ලා සහ One Galle Face ගොඩනැගිලි සහිත ඉඩම් විකිණීමේදී දූෂණ හා අක්‍රමිකතා සිදුව ඇති බවට චෝදනා කරමින් ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කරන ලෙස අල්ලස, දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබේ.

එම සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාරගේ අත්සනින් 2026 ඔක්තෝබර් 29 වැනිදා කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත යොමු කළ ලිපියක් මඟින් මෙම ඉල්ලීම කර ඇත.

අදාළ පැමිණිල්ලට අනුව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පාලන සමයේදී රජයේ ඉඩම් ආඥා පනතේ (454 අධිකාරය) 23(2) වගන්තිය යටතේ, එවකට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග විසින් 2010 දෙසැම්බර් 29 වැනිදා පිඹුරු අංක 9132හි ලොට් අංක 01ට අයත් හෙක්ටයාර 2.4361ක ඉඩම් කොටස ෂැන්ග්‍රි-ලා ගෝල්ෆේස් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගම වෙත අමෙරිකානු ඩොලර් මිලියන 75කට, එනම් එවකට ශ්‍රී ලංකා රුපියල් මිලියන 8,250කට විකුණා තිබේ.

එම පිඹුරේ ලොට් අංක 02ට අයත් හෙක්ටයාර 1.6108ක තවත් ඉඩම් කොටසක් 2011 මාර්තු 15 වැනිදා එම සමාගමටම රුපියල් මිලියන 5,499කට අලෙවි කර ඇති බවද පැමිණිල්ලේ සඳහන් වේ.

ඒ අනුව අක්කර 10යි පර්චස් 11ක් පමණ වන සමස්ත ඉඩම් ප්‍රමාණය රුපියල් මිලියන 13,749කට විකුණා ඇති බව පැමිණිලිකාර සංවිධානය පෙන්වා දෙයි.

මෙම ඉඩම් ගනුදෙනුවේදී රජයේ ඉඩම් ආඥා පනත යටතේ අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කර ඇති බවට එම සංවිධානය චෝදනා කරයි.

විශේෂයෙන් පළමු ඉඩම් ගනුදෙනුවට අදාළ පිඹුර 2010 දෙසැම්බර් 27 වැනිදා සකස් කර, දෙසැම්බර් 28 වැනිදා ඔප්පුව ලියා, දෙසැම්බර් 29 වැනිදා එය ලියාපදිංචි කර ඇති බව සඳහන් කරන පැමිණිලිකරුවන්, මෙම කටයුතු දින තුනක් වැනි කෙටි කාලයක් තුළ සිදුවීම පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටී.

එමෙන්ම අදාළ ඉඩම් විකිණීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබාගෙන තිබේද යන්න, ඉඩම් තක්සේරු කිරීමේ ක්‍රියාවලිය සහ විකිණීමේදී ප්‍රසිද්ධ වෙන්දේසියක් හෝ විවෘත අයදුම්පත් කැඳවීමක් සිදු නොකිරීම සම්බන්ධයෙන් ද විමර්ශනයක් අවශ්‍ය බව පැමිණිල්ලේ දැක්වේ.

රජයේ ඉඩම් විකිණීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල මෙම ගනුදෙනුවේදී අවභාවිත කර ඇත්ද යන්න පිළිබඳ සැකයක් පවතින බව පෙන්වා දෙන සංවිධානය, එම කරුණු සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව අවධාරණය කරයි.

අදාළ ගනුදෙනුව දූෂිත බවට තහවුරු වන්නේ නම් ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, විකුණා ඇති ඉඩම් නැවත රජයට පවරා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අල්ලස, දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය සිය පැමිණිල්ල මඟින් ඉල්ලා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න