Image

රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහට ඇප ලබා දීමට එරෙහි අල්ලස් කොමිසමේ පෙත්සම 9දා විභාගයට!

රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහට ඇප ලබා දීමට එරෙහි අල්ලස් කොමිසමේ පෙත්සම 9දා  විභාගයට!

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පත්කර සිටි රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ඇප ලබාදීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසම විසින් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම් විභාගය සඳහා පෙබරවාරි මස 09 වන දින කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ මෙම ප්‍රතිශෝධන පෙත්සම් කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුකරවලට අදාළ විරෝධතා තිබේ නම් ඒවා නොවැම්බර් මස 14 වන දිනට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙස වගඋත්තරකරුවන්ට නියම කළේය.

එම විරෝධතාවලට ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා ජනවාරි මස 28 වන දිනට පෙර ගොනු කරන ලෙසත් මෙහිදී විනිසුරුවරයා විසින් අල්ලස් කොමිසමට නියම කරනු ලැබීය.

මෙම ප්‍රතිශෝධන පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂා සම්බන්ධප්පෙරුම අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ප්‍රතිශෝධන පෙත්සම් තුළින් අතුරු නියෝගයක් අපේක්ෂා කරන බව සඳහන් කළාය.

මෙහිදී මහාධිකරණ විනිසුරුවරයා සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින්, "එම අතුරු නියෝගය තුළින් අපේක්ෂා කරන්නේ කුමක්දැයි" විමසීය.

ඊට පිළිතුරු දුන් සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය, "ස්වාමීනි.. මෙම වගඋත්තරකරුවන් ඇප මත මුදාහරිමින් මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ ඇප නියෝගය අත්හිටුවන ලෙස මෙම අතුරු සහන නියෝගය තුළින් ඉල්ලා සිටිනවා" යනුවෙන් පැවසුවාය.

එහිදී යළි ප්‍රශ්නයක් මතු කළ විනිසුරුවරයා, "මෙම පෙත්සම්වලින් ඉල්ලා සිටින අවසන් සහනය කුමක්දැයි" යළිත් විමසා සිටියේය.

ඊට පිළිතුරු දුන් සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය, "මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රදානය කරන ලද ඇපය අවලංගු කරන ලෙසයි ඉල්ලා සිටින්නේ" යනුවෙන් පැවසුවාය.

එහිදී විවෘත අධිකරණයේ ප්‍රකාශයක් සිදු කළ මහාධිකරණ විනිසුරුවරයා, "මෙම පෙත්සමේ අතුරු සහනය සහ අවසාන ඉල්ලීම සමාන බව පෙනී යනවා. එවැනි අවස්ථාවක අතුරු සහන ඉල්ලීම පිළිබඳ සලකා බැලිය නොහැකි බවට නීතිමය තත්ත්වයක් තිබෙනවා. එවැනි තත්ත්වයක් යටතේ මෙවැනි අතුරු සහන ඉල්ලා සිටින්නේ කොහොමද?" යනුවෙන් විමසීය.

ඒ අනුව, මෙම පෙත්සම්වලින් ඉල්ලා තිබෙන අතුරු සහන ඉල්ලීම් සම්බන්ධයෙන් මෙම අවස්ථාවේදී කරුණු දැක්වීමක් නොකරන බව සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය කියා සිටියාය.

ඒ අනුව, මෙම පෙත්සම විභාගයට ගැනීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න