Language Switcher

V2025

විදෙස් විනිමය භාර මහ බැංකු නියෝජ්‍ය අධිපතිවත් ඉවත් කරන සූදානමක් !

මහ බැංකුවේ සහකාර අධිපතිනි දවුලගල මහත්මිය මුල්‍ය මණ්ඩල ලේකම් ධුරයෙන් ඉවත් කළ අකාරයටම, නියෝජ්‍ය අධිපති මහින්ද සිරිවර්ධන විදේශ විනිමය විෂයයට අදාල වගකීම්වලින් ඉවත් කිරීමට සුදානම් වන බව වාර්තා වෙයි.

මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ ඒකකයේ ප්‍රධානියා ද වූ ඔහු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ද සේවය කළ කීර්තිමත් නිලධාරියෙකි.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වෙන නිවේදනය හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් විසින් නිකුත්කර ඇති අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

මහ බැංකු මගඩි පිළිබඳ වෝහාරික විගණන වාර්තා 5 ක් මේ වන විට එළිදක්වා ඇත. ඊටීඅයි ජනාධිපති කොමිෂන් වාර්තාව, හෙජින් පාඩුව පිළිබඳ වාර්තාව ඇතුළු මහ බැංකුවේ මුල්‍ය අපරාධ රැසක් පිළිබඳ විමර්ශන වාර්තා බලධාරීන් අතට පත්ව ඇත.

දැන් මෙම විමර්ශනයන්ට අදාල මහ බැංකුවේ නිලධාරීන් එකිනෙකා මාරු කරමින් මුල්‍ය අපරාධ සැගවීමට අදාල චෝදනා එල්ලවූ පුද්ගලයින්ම කටයුතු කරති.

නිදහසින් පසු ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණදෙන දැවැන්තම අර්බුදයට තුලින් මේ වන විට රට ගමන් කරමින් ඇත. එහි මුලික පාර්ශවකවෙකු වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව, මුල්‍ය මණ්ඩලය විසින් ගනු ලැබු අදූරදර්ශී සහ ප්‍රශ්නගත තීරණයන් ය. එයින් කිහිපයක් මෙසේය.

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් සමාගම සිදු කළ මුල්‍ය අවභාවිතයන් පිළිබඳ අනාවරණය වීමෙන් පසුව එහි විමර්ශන කටයුතු අඩපණ කිරීම සහ විමර්ශන සිදු කළ වත්මන් සහකාර මහ බැංකු අධිපති දවුලගල මහත්මිය 2012 දී -තනතුරුවලින් ඉවත් කිරීම. තැම්පත්කරුවන්ට සිය මුදල් අහිමිවූ ඊටීඅයි අර්බුදයේ ආරම්භය එය යි. මේ වන විට ඊටීඅයි වංචාව අනාවරණය කළ දවුලගල මහත්මිය මුල්‍ය මණ්ඩලයේ ලේකම් ධූරයෙන් ඉවත් කර ඇත. වෝහාරික විගණනයන් සම්බන්ධයෙන් කටයුතු කළේ ද ඇයයි.

ග්‍රීක බැඳුම්කර ආයෝජනය - කඩා වැටෙමින් තිබූ ග්‍රීසියේ මුදල් ආයෝජනය කිරීම නිසා රුපියල් බිලියන 10 කට වැඩි මුදලක් රටට අහිමි විය.

හෙජින් ගනුදෙණුව - මේ දක්වා වසන් කර තිබූ නමුත්, අලුත්ම සංඛ්‍යා සහ දත්ත අනුව, ලංකා රජය ඩොයිෂ් බැංකුවට ඩොලර් මිලියන 60.3 ක් ද, ඩීලර් ගාස්තුව ඩොලර් මිලියන 8 ක් ද, බේරුම්කරුවන් වෙත ඇ.ඩො. 12,872 ක් ද ගෙවා ඇත. එයට බාහිරව නීතිඥයින්ට ගෙවූ මුදල ද ඇතුළුව ඇ.ඩො. මිලියන 130 ඉක්මවන පාඩුවක් රටට සිදුව ඇත.

මෙරට කම්කරු ජනතාවගේ විශ්‍රාම රක්ෂණය වන, සේවක අර්ථසාධක අරමුදල් භාවිතා කර කොටස් වෙළෙඳපොල උපක්‍රමශීලි ලෙස හසුරුවනු ලැබීම තුලින් රුපියල් බිලියන 5 ක පාඩුවක් රටට සිදුව ඇත. සේවක අර්ථසාධක අරමුදලේ විශාලත්වය රු. බිලියන 2,200 කි. වෝහාරික විගණනයට අනුව සේවක අර්ථ සාධක අරමුදල් භාවිතයෙන් ගනුදෙනු 645 ක සිදු ව ඇති අතර, එම ගණුදෙනු එක එකින් රු. මිලියන 3 සිට මිලියන 17.31 පාඩු සිදු කර ඇත.

2002 සිට 2015 දක්වා බැදුම්කර නිකුතු 142 ක් සිදු කර ඇති අතර ඒවා රුපියල් බිලියන බිලියන 337 ක් රජය උපයාගෙන ඇත. මෙම බැඳුම්කර වලින් 33 ක් ම අවිධිමත් වේ. ප්‍රශ්නගත බැඳුම්කරවල වටිනාකම රු. බිලියන 77 යි. බැඳුම්කර 50 ක් සිමා රහිත මුල්‍ය සීමාවන් සහිතව (අර්ජුන මහේන්ද්‍රන් ආකාරයේ ) ගණුදෙනු වේ. ද්විතීයික වෙළෙඳපොල මිලට වඩා අඩුවෙන් බැඳුම්කර මිලදී ගත් අවස්ථාවන් 14 ක් ඒ අතර හමුවේ. එම ගණුදෙනු වලින් ද්විතීය වෙළඳපොල දී පමණක් සිදුව ඇති අලාභය රු.මිලියන 371 කි.

2019 ජනවාරි මස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවනු ලැබූ ‘ආචාර ධර්ම පද්ධතියට‘ අනුව විධායක නිලධාරියෙකු, කාර්යාල සේවකයෙකු ලෙස මහ බැංකුවේ හතර සීමාවට ඇතුළු විය නොහැකි පුද්ගලයෙකුට රටේ මුල්‍ය විනය පවත්වාගත නොහැකිය.

වෝහාරික විගණන වාර්තා අංක 4 මගින් චෝදනා එල්ල වූ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ට අධි චෝදනා එල්ල වූ විට ඔහු සිය නම, ලිපිනය ද, ස්ත්‍රී පුරුෂ භාවය හැර අන් සියලු අනන්‍යතාවයන් සඟවා සැඟවී සිටී.

ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාපනය කිරීමට පදනම් වූ ජෝන් එන්ටර් ගේ වාර්තාවේ 16 වන පිටුවේ ‘The Governor should be a man of recognized and outstanding competence in and integrity and responsibility’ යැයි සඳහන් ය. එවැනි ගුණාංගයන් රහිත පුද්ගලයින්ට, රටක මුදල් කලමනාකරණය නැවත නැවතත් හිමිවීම ඛෙදවාචකයකි.

කීර්ති තෙන්නකෝන්

දකුණ හා මධ්‍ය පළාත් හිටපු ආණ්ඩුකාර