Language Switcher

V2025

බීපු ඇමතුලාට ජනතාවගේ අයිතිවාසිකම් බයිට් එකට දෙන්න බෑ - නීතිඥ නිශ්ශංක

ඇමතිවරයාට බීමත්ව ජනතාවගේ මානව හිමිකම් බයිට් එකට ගැනීමේ අයිතියක් නොමැති බවත් , මිනිස්සුන්ට හිරිහැර කර, වින්දනයක් ලැබීම මානසික රෝග බවත් නීතිඥ නිශ්ශංක නානායක්කාර පවසයි.

ජාතික ජනබලවේගය පක්ෂය අද (16) කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය.

අමාත්‍යවරයා පොදු දේපොළ භාවිතා කර තිබෙනවා නම් එසේ කර තිබෙන්නේ රාජකාරී කටයුත්තකට නෙවන අතර එය තමන්ගේ මිත්‍රයන්ගේ විනෝදය සඳහා සිදුකර ඇති බවත් මෙතනදී අමාත්‍යවරයා ගිය වාහනය නොව ඔහුගේ හැසිරීම බැලිය යුතු බවත් නීතිඥ නිශ්ශංක නානායක්කාර සඳහන් කර ඇත.

එහිදී නීතිඥවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

ඒ හැසිරීම නීති විරෝධීයි. එයට දඬුවම් කළ යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා. ඇමතිවරයාට බීමත්ව ජනතාවගේ මානව හිමිකම් බයිට් එකට ගැනීමේ අයිතියක් නැහැ. මිනිස්සුන්ට හිරිහැර කරලා, වින්දනයක් ලැබීම මානසික රෝග. මේ රාජ්‍ය ඇමතිවරයා සිදුකළ ක්‍රියාකලාපයේ බරපතළකම තිබෙන්නේ අතීතයේ මේ ආණ්ඩුවේ තිබෙන ක්‍රියාමාර්ගත් එක්කයි. මහර ඝාතනය, වැලිකඩ සිර ගෙදර ඝාතනය කියන සියල්ල මගින් අපේ රටේ මානව හිමිකම් ගැන ජාත්‍යන්තරව ප්‍රශ්න කෙරෙනවා. මේ රටට ඇඟිලි ගහලා සම්බාධක පනවන්න පසුබිම හදලා දෙන්නේ මේ ආණ්ඩුවමයි. හිජාස් හිස්බුල්ලා නඩු විභාගයකින් තොරව මාස 16ක් අත්අඩංගුවේ ඉන්නවා. නඩු අහලා, වැරදිකාරයා වෙනවා නම් හිරේ දැමීම ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. කවියෝ පවා මේ විදිහට සිරගත කරගෙන ඉන්නවා.

අවුරුදු 1 සිට 6 දක්වා පමණ කාලයක් දඩුවම් ලැබිය යුතු වැරදි !

ගඟෙන් එතෙර වෙන්න වියතුන්ව පාවිච්චි කළා. අද ඔවුන්ව විසි කර දාලා. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා බලයට ගේන්න වැඩ කළ වියතුන් අද හැංගෙමින් ඉන්නේ. ඒ නිසා අද මේ රට පාලනය වෙන්නේ සංවිධානාත්මක හොර කල්ලියකින්.

අපේ රටේ ආර්ථිකය, සමාජ සංස්කෘතික ජීවිතය, යන සියල්ල පාලනය වෙන්නේ මේ කල්ලියෙන්. සිද්ධියේ බරපතළකම අනුව අවුරුදු 1 සිට 6 දක්වා පමණ කාලයක් දඩුවම් ලැබිය යුතු වැරදි මෙතන සිදුකර තිබිය හැකියි. එය හරියටම කියන්න බැරි තාම කිසිදු පරීක්‍ෂණයක් සිදුකර නැති නිසයි. මේ සිද්ධියත් එක්ක මොහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයත් ඉවත් කරන්න කියලා ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාට බල කරන්න ඕනැ.

මාංචු වැටෙන්න ඕනෑ අත්වල සමහර ස්වාමින් වහන්සේලා පිරිත් නූල් ගැට ගහපුවාම මෙහෙම ප්‍රශ්න මතු වෙනවා. ඔහු සමග හිටපු කාන්තාවටත් එකම නීතිය බලපාන්න ඕනැ. තාමත් පොලිසිය මේ ගැන විමර්ශන පටන් ගෙන නැහැ. පහන්තුඩුවේ සිද්ධියට සම්බන්ධ දෙදෙනා පසුවදා අත්අඩංගුවට ගත්තා. මෙතන තියෙන්නේ ඊට වඩා බරපතළම තත්වයක්.

පොලිසිය සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙතනට ගිහිල්ලා බන්ධනාගාර නිලධාරීන්ගෙන් බන්ධනාගාර කොමසාරිස්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්න ඕනෑ. ඒ මූලික තත්වයවත් සිදු නොවීමයි මෙතන තියෙන බරපතළම තත්වය.