ඩෙල්ටා ව්‍යාප්තිය සැරටම : අලුත්ම වාර්තාව මෙන්න !

 ඩෙල්ටා ව්‍යාප්තිය සැරටම : අලුත්ම වාර්තාව මෙන්න !

කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලබාගෙන ජාන විශ්ලේෂණ පරීක්ෂණවලට ලක් කෙරුණු කොරෝනා ආසාදිතයන්ගේ සාම්පල 88 කින් 84 කම ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය තිබී හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

මෙම නව ඩෙල්ටා ආසාදිතයන් 84 දෙනා සම්බන්ධයෙන්වූ වාර්තාවක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අද (20) බාරදී ඇති බවත් ලංකාදීප වාර්තා කරන අතර එම පුවතේ වැඩිදුරටත් මෙසේද දැක්වෙයි.

මේ අනුව මෙරටින් මේ දක්වා සොයාගෙන ඇති ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයන් සංඛ්‍යාව 201ක් දක්වා ඉහළ යනු ඇත.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙයට පෙර ඩෙල්ටා ආසාදිතයයෝ 117 දෙනෙක් සොයා ගනු ලැබූහ.

ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය හමුවූ සාම්පලවලින් වැඩි ප්‍රමාණයක් කොළඹ ප්‍රදේශයෙන් ලබා ගත් ඒවා බව පැවසූ ආචාර්යවරයා ඩෙල්ටා හමුවූ සෙසු සාම්පල මහනුවර මාතලේ, රත්නපුර, නුවරඑළිය, ගාල්ල, වව්නියාව, මහරගම, මාලඹේ, ගම්පහ යන ප්‍රදේශවලින් ලැබී තිබුණු ඒවා බවද සඳහන් කළේ‍ය.

ලංකාවේ පැතිර යන ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ විකෘති අවස්ථා තුනක් පසුගියදා සොයා ගත් බවත් එකම සෛලයක විකෘති අවස්ථා තුනක් එකවර හඳුනා ගැනුණු ලෝකයේ පළමු අවස්ථාව මෙය බවත් චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේය.

මෙම විකෘති අවස්ථා තුනෙන් ඒ 7015 විකෘතිය මෙතෙක් හමුවී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් පමණක් බවද ඔහු පැවසීය.

ඩෙල්ටා වයිරස සෛලයේ 1078S විකෘතිය මෙතෙක් හමුවී ඇත්තේ මැලේසියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් පමණක් බව පැවසූ හෙතෙම 222V විකෘතිය ඩෙල්ටා පැතිරීම වේගවත්වීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නට ඇතැයි විශ්වාස කරන බවද ප්‍රකාශ කළේය.

මෙම විකෘතිතා සහිත ඩෙල්ටා ප්‍රභේදය හමුවී ඇත්තේ කොළඹ ප්‍රදේශයෙන් බවත් ඉදිරියේදී මෙම විකෘති නව ප්‍රභේදයක් ලෙස වර්ධනය වීමට ඉඩකඩ ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙම ප්‍රභේදයේ වෙනස්කම් සම්බන්ධයෙන් දිගටම පරීක්ෂණ සිදුකරන බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පැවසුවේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න