Language Switcher

V2025

lankaenews ආරක්ෂක හා දේශපාලන විශ්ලේෂක : මාධ්‍යවේදියා අත්අඩංගුවට !

ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය හා සම්බන්ධ, මාධවේදී කීර්ති රත්නායක මහතා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අද (14) අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් නිලධාරියා අත් අඩංගුවට ගැනීමට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ, ඔහු විසින් දැනුම්දී ඇති කරුණක් සම්බන්ධයෙන් සත්‍ය අසත්‍යතාවය සෙවීම පිණිස අත් අඩංගුවට ගන්නා බවයි.

ඒ හෙට (15) ඉන්දීය නිදහස් දිනය දා කොළඹ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි පුරෝකථනයක් කරමින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්නැයි කොළඹ ඉන්දීය තානාපති කාර්යාලයට දැනුම් දුන් අනතුරු ඇඟවීමක් සම්බන්ධයෙනි.

ඊට පෙර ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය යැයි කියා අද(14) උදෑසන 10 ට කොල්ලුපිටිය පොලිසියට පැමිණ පොලිස් පරීක්ෂක මිද්දෙණිය නමැති නිලධාරියෙකු හමුවන්නැයි ජ්‍යෙ. නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් දුරකථනය මගින් කීර්ති රත්නායකට දැනුම් දී තිබු බව 'ලංකා ඊ නිව්ස් ' වාර්තා කර තිබේ.

ඔහු ඊට එකඟතාවය ප්‍රකාශ කර තිබියදී ඊයේ සවස සහ රාත්‍රිය පුරා ඔහුගේ අඹු දරුවන්ගේ දෙමාපියන්ගේ නිවෙස් වෙත සහ හිතවතුන්ගේ නිවෙස් වෙත පොලිසිය හඹා යමින් ඔහු පිළිබඳ තොරතුරු විමසමින් ඇති බවත් එහි සඳහන් කර ඇත.

එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ලංකා ඊ නිව්ස් ලන්ඩන් කාර්යාලය සමග අවසන් වරට අද උදෑසන 9 ට පමණ අදහස් දැක්වූ අවස්ථාවේ දී මාධ්‍යවේදී කීර්ති රත්නායක පවසා ඇත්තේ, ඔහු දැන් කොල්ලුපිටිය පොලිසිය බලා ගමන් කිරීමට සූදානම් වන බවත් ඉන්දීය තානාපති කාර්යාලයේ නිලධාරිනියක් ද පොලිසිය වෙත පැමිණෙන බව තමන්ට දැනුම් දුන් බවත් ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියනදේ !

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සඳහන් කරන්නේ, කොළඹ පිහිටි ජාත්‍යන්තර සබඳතාවලට අදාළ විදේශ ආයතනයකට ප්‍රහාරයක් එල්ල වන බවට ලැබුණු යම් තොරතුරක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අදාළව කළ විමර්ශනයකදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එම තොරතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස අදාළ ආයතනයේ නිලධාරියෙකු ඊයේ (13) දහවල් කොල්ලුපිටිය පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදු කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

පැමිණිල්ලට අදාළව කොල්ලුපිටිය පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර පසුව එම විමර්ශනය කොළඹ අපරාධ කොට්ඨාසය භාර ගෙන ඇති බවත් ඔහු පවසයි.

පසුව එම විමර්ශනයෙන් අනාවරණය වූ කරුණු මත මහනුවර ප්‍රදේශයේ ස්ථීර පදිංචිය සහිත පනාගොඩ ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසිය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ, ඔහු ගුවන් හමුදාවේ නිලධාරියෙකුව සිට පසුව ගුවන් හමුදා සේවයෙන් නෙරපා ඇති පුද්ගලයෙකු බවය.